පොලිස්‌පති අද පාර්ලිමේන්තුවට

දෙවිනුවර හිටපු බස්‌නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න මහතා අත්අඩංගුවට නොගන්නා බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා අද (05 දා) පාර්ලිමේන්තුවට කැඳවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (03 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

මෙම අවස්‌ථාවට පොලිසිය භාර ඇමැතිවරයා ද කැඳවන බව කී අගමැතිවරයා විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතාටද පැමිණ පොලිස්‌පතිවරයාගෙන් කරුණු විමසිය හැකි බව ප්‍රකාශ කළේය.

පොලිස්‌පතිවරයා සිදුකර ඇත්තේ ඔහුට පැමිණි දුරකථන ඇමතුමකට පිළිතුරු දීම මිස ඔහුට එරෙහිව චෝදනාවක්‌ නොවන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසුවේය.

පොලිස්‌පතිවරයා උත්සව සභාවකදී දුරකථන ඇමතුමකට පිළිතුරු දෙමින් කළ ප්‍රකාශය පිළිබඳ අනුර කුමාර දිසානායක මහතා සහ ඒකාබද්ධ විපක්‍ෂ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අනුර කුමාර දිසානායක මහතා - පොලිස්‌පතිවරයා පසුගියදා මාධ්‍ය ඉදිරිපිට ප්‍රධාන රැස්‌වීමකදී "සර්" කෙනක්‌ විසින් ලබාදෙන දුරකථන ඇමතුමකට පිළිතුරු දෙන අයුරු මා දුටුවා. පොලිස්‌පතිවරයා සභාව අමතමින් සිටි ස්‌ථානයෙන් පහළට බැහැලා ඒ සර් දෙන නිර්දේශ අනුව කටයුතු කරනවා දුටුවා. එනිසා එය මුළුමනින්ම පොලිස්‌පතිවරයාට අනවශ්‍ය දේශපාලන මැදිහත්වීමක්‌. ජනවාරි 08 වැනිදා ජනවරමේ පැහැදිලිව තිබුණේ වංචාව, දූෂණය, කළ අයට දඬුවම් ලබා දෙන බව. ඒ අනුව පරීක්‍ෂණ පැවැත්වීමේ බලය පොලිසියට තියෙනවා. ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ බලය නීතිපති දෙපාර්තමේන්තුවට තියෙනවා. නමුත් ඒ බලය ඇති පොලිසියේ ප්‍රධානියාට දුරකථන ඇමතුමකට අනුව ප්‍රතිචාර දක්‌වනවා නම් කිසිසේත්ම අත්අඩංගුවට ගන්නේ නෑ කියලා අපි දිගටම ඉල්ලා සිටියා මේ ඇමැතිවරයා කවුද කියා පාර්ලිමේන්තුවට කියන්න කියලා.

ඇමැතිවරයා එසේ කියන්නේ නැත්නම් කථානායකතුමනි ව්‍යවස්‌ථාදායක සභාවේ සභාපති ලෙස ඔබතුමා පොලිස්‌පතිවරයාගෙන් විමසන්න. ඔහුට මේ ඩිෂාන් වික්‍රමරත්න යන අය අත්අඩංගුවට ගැනීම වළක්‌වමින් උපදෙස්‌ දුන්නේ කවුද කියා.

දිනේෂ් ගුණවර්ධන මහතා - පොලිස්‌පතිවරයාගේ මේ සාකච්ඡාව විද්යුත් මාධ්‍ය ඔස්‌සේ ලෝකයටම ගියා. මුළු රටම මේ ගැන සාකච්ඡා කරනවා. ජනාධිපතිතුමාත් ප්‍රකාශයක්‌ කර තිබෙනවා මේ ගැන. පරීක්‍ෂණයක්‌ සිදුකරන බව. පොලිස්‌පතිවරයා ඒ දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්‌වමින් කළ ප්‍රකාශය ඉතා පැහැදිලිව මේ රටේ නීතිය හා විධානය අනුව කනගාටුදායක තත්ත්වයකට පත්ව තිබෙනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා - පොලිස්‌පතිවරයාගෙන් අහලා බැලුවා. මේ බස්‌නායක නිලමේට පොලිසියට එන්න කියලා. එතනදි අහලා තියෙනවා උසාවියට ආවාම අත්අඩංගුවට ගන්නවද කියල. පොලිස්‌පතිතුමා හොයලා බලලා උසාවියට එන්න කියලා තියෙන්නේ. ලිපි වගයක්‌ භාර දෙන්න විතරයි. මේ නිසා අත්අඩංගුවට ගන්නෙ නෑ කියලා තමයි කිව්වේ එච්චරයි එතැන සිදුවෙලා තියෙන්නේ.

ඇත්තටම එහෙම ඉල්ලීමක්‌ කළේ අත්අඩංගුවට ගන්නවද නැද්ද කියලා අහල තිබුණේ. ඒ ප්‍රශ්නෙට පිළිතුරු විදිහට පොලිස්‌පති කිව්වා "අත්අඩංගුවට ගන්නෙ නෑ" කියලා. ඒ පුද්ගලයා අපි එක්‌ක හිටියේ. ගිහින් රජතුමාට හේත්තු වුණා.

පරණ සම්බන්ධකම් තියෙන නිසා අපෙන් ඇහුවා අල්ලනවාද නැද්ද කියලා. නිලමේ නොවේ මන්ත්‍රීවරු කී දෙනෙක්‌ මේ විදිහට කතා කරලා අහනවාද අපිව අල්ලනවද නැද්ද කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔළුව කැඩුව වගේ දේවල් අපි කරලා නෑ. මන්ත්‍රී කෙනෙක්‌ අහනවා නම් අපිව අත්අඩංගුවට ගන්නවද කියලා අපි යම්කිසි සහනයක්‌ ලබා දෙන්න බලන්නම්. සරත් ෆොන්සේකාට කළ දේ කරන්න අපට වුවමනාවක්‌ නෑ. මන්ත්‍රී කෙනෙක්‌ ඇහුවාම මමත් අහලා බලනවා මොකටද එන්න කිව්වේ ඇතුලට ගන්නවද නැද්ද කියලා.

විපක්‍ෂය - පරීක්‍ෂණ යට ගහන්න හදන්නේ.

අගමැති - එක පරීක්‍ෂණයක්‌වත් නතර කරන්න කියලා අපි කියල නැහැ. කොහොම වුණත් එක මාධ්‍ය ආයතනයක්‌ ඇතුලේ වූ දෙයක්‌ ගැන පැමිණිල්ලක්‌ විභාග කිරීම පොලිසිය නතර කරලා. තව කෙනෙක්‌ බලපෑම් කරලා තියෙනවා ඔයාට ඕනෑ විදියට පරීක්‍ෂණ කරන්න කියලා. ඒක ඔය මාධ්‍යයේත් වෙනවා. මෙහෙත් වෙනෙවා. සමහරුන්ට බලය නෑ මාධ්‍යයට තරම්.

පොලිස්‌පති සඳුදට ගෙන්නලා මේ ගැන විමසා බලමු. අත්අඩංගුවට ගන්න ඕනෑ නම් ඒකට අවස්‌ථාව තියෙනවා. අහලා තියෙන්නේ උසාවියට ඇවිල්ලා තියනවා. අත්අඩංගුවට ගන්නවාද නැද්ද කියලා. පොලිසියට ඒ වෙලාවෙ වුවමනාවක්‌ තිබිලා නෑ අත්අඩංගුවට ගන්න. වුවමනා වෙලාවට, අත්අඩංගුවට ගනිවි. ඒක පොලිසියේ තීරණයක්‌. නීතිපති තමයි ඒ තීරණය ගන්නේ. උසාවියට දැම්මාම තීරණය කරයි රිමාන්ඩ් කරනවද නැද්ද කියලා. අපි අත ගහන්නේ නෑ. පොලිස්‌පතිතුමාට විරුද්ධව චෝදනාවක්‌ තියෙනවා නම් කියන්න. දැනට පොලිස්‌පතිට විරුද්ධව චෝදනාවක්‌ නෑ. ඔබතුමාගෙන් අහපු ප්‍රශ්නයකට උත්තර දීලා තියෙනවා.