ඉතිහාසයේ වැඩිම පිරිසක්‌ හෙට සාපෙළ ලියති

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (06 වැනිදා) ආරම්භ කෙරේ.

නව හා පැරණි නිර්දේශ යටතේ පැවැත්වෙන මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ හත්ලක්‌ෂයකට ආසන්න පිරිසක්‌ පෙනී සිටිති. ඉතිහාසයේ වැඩිම පිරිසක්‌ පෙනී සිටින විභාගය මෙය වන අතර, මෙවර යොදවා සිටින කාර්ය මණ්‌ඩලය 65524 කි. දිවයින පුරා මධ්‍යස්‌ථාන 5669 කදී විභාගය පැවැත්වෙයි.

ජංගම දුරකථන හෝ ස්‌මාට්‌ ඔර්ලෝසු ළඟ තබාගෙන විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විභාගය අවලංගු කර පස්‌ වසරක විභාග තහනමක්‌ පනවන බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එස්‌. ඡේ. පුෂ්පකුමාර මහතා ඊයේ (04 වැනිදා) පැවසීය.

එමෙන්ම අයදුම්කරු වෙනුවට වෙනත් අයකු විභාගයට පෙනී සිටියහොත් විභාග මධ්‍යස්‌ථානයේදීම පොලිස්‌ අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇතැයිද ඒ මහතා කීවේය.

විභාග අධීක්‌ෂණ කණ්‌ඩායමේ දැනටම සියලු පළාත්වලට යෑවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

විභාගයට පෙනී සිටීම සඳහා ජාතික හැඳුන්ම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය අනිවාර්ය වෙයි.

විභාගයට අදාළ ගැටලුවක්‌ ඇත්නම් 011-2784208, 011-2784537 හෝ 1911 යන දුරකථන අංකයන්ගෙන් විමසීම් කළ හැකිය. දෙපාර්තමේන්තුවේ විභාග සංවිධාන ශාඛාව පැය 24 පුරාම විවෘතව පවතින බවද විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා කීවේය.