බෙල්ලට වෙඩි තියාගෙන

ඉලක්කයට වෙඩි තබමු යැයි පවසා මිතුරාගේ තුවක්කුවෙන් තමාගේම ගෙලට වෙඩි තබාගෙන 22 හැවිරිදි තරුණයකු පෙරේදා (14දා) මියගොස් ඇතැයි තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් කිවුල්ආර ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ තණමල්විල කිවුල්ආර ප්‍රදේශයේ පදිංචි ගයාන් සමින්ද නමැති අයෙකි. මිතුරා සමඟ මත්පැන් පානය කර පසුව මිතුරාගේ නිවෙසට ගොස් ඔහුගේ නිවෙසේ ඇඳ යට තිබූ බෙහෙත් කොටන තුවක්කුවක් රැගෙන ඉලක්කයට වෙඩි තබමු යැයි පවසා මිතුරා ඉලක්කය සකස් කරන අතරතුර තම ගෙලට තුවක්කු බටය තබාගෙන වෙඩි තබාගෙන තිබේ.

මිතුරා නිවෙස පිටුපසට ගොස් බාල්දියක් නවා ඒ මත ලී කැබැල්ලක් තබා ඉලක්කය සකස් කරන අවස්ථාවේ වෙඩි ශබ්දයක් ඇසුණු බවත් එවිට හැරී බලනවිට මිතුරා තුවක්කුව සමඟ බිම වැටී සිටි බවත් වහාම තමා පොලිසියට පැමිණි ඒ බව දැන්වූ බවත් මිතුරා පොලිසියට පවසා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පෙරේදා රාත්‍රි වැල්ලවාය මහෙස්ත්‍රාත් රඛිත ගෝමස් අබේසිංහ මහතා පැවැත්විය.

මෙම මියගිය තරුණයා මීට මාස දෙකතුනක පමණ සිට මානසික පීඩනයකින් හා ජීවිතය පිළිබඳ කල කිරීමකට පත්ව සිටි අයකු බවත් මියයෑමට පැය නවයකට පෙර මුහුණු පොතේ තම ඡායාරූපය ඉදිරියෙන් නිමි යැයි වදනක් එක් කර තිබූ බවත් පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මිතුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (15දා) ඔහු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මළ සිරුර ඇඹිලිපිටිය මූලික රෝහලේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ මොනරාගල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක සී.කේ. පනාවෙල මහතා ඇතුළු පිරිසක් සිදුකරයි.