අතේ වැවුණු කන - Video

චීන ජාතික ජී මහ මඟ ගමන් කරමින් සිටියදී හදිසි අනතුරකට මුහුණ පෑවේය. අනතුර හේතුවෙන් ජීගේ මුහුණේ දකුණු පැත්තට බරපතළ හානි සිදුවිණ. ඒ හානිය කෙතරම්දැයි කිවහොත් ඔහුගේ මුහුණ යථා තත්ත්වයට ගැනීමට වෛද්‍යවරුන්ට බොහෝ වෙහෙසෙන්නට වූ බව දැක්වේ. 

ඔවූහු ජීගේ මුහුණේ සම සහ නිකට ප්‍රදේශය ශල්‍යකර්ම ගණනාවකට ලක් කළෝය. ඒ ශල්‍යකර්ම සියල්ලම අවසන් වනවිට අනතුර සිදුව වසරකට ආසන්න කාලයක් ගතව තිබිණ.
වසරක් පුරා ශල්‍යකර්ම විශාල සංඛ්‍යාවක් සිදු කළද ජීගේ දකුණු කන පෙර තිබූ තත්ත්වයට ගැනීම කොහෙත්ම කළ නොහැකි දෙයක්ව තිබුණේය. එයට හේතුව දකුණු කන මුහුණෙන්ම ඉරී ගොස් විනාශයට පත්ව තිබීමයි. සාමාන්‍යයෙන් භාවිතයට ගන්නා වෛද්‍යකර්මවලින් කන නැවත සැකසිය නොහැකි බව වෛද්‍යවරුන්ගේ කියුම් කෙරුම්වලින් ජී ඒ වනවිට පසක් කරගෙන සිටියේය. නමුත් කන අහිමිවීමෙන් ඇතිවුණු මානසික වේදනාව ජීව දැඩි ලෙස සසල කර තිබුණේ ඒ අවබෝධයද පසෙකට තල්ලුකරමිනි.

“...මට මගේ කනක් අහිමි වුණා. ඒක මට ඒත්තු ගැන්වූයේ මම සම්පූර්ණ නැති මිනිහෙක් කියලා. ...” ජී එලෙස චීන මාධ්‍යය සේවා වෙත පවසා තිබිණ. කෙසේ වුවද ජීගේ සම්පූර්ණ නම, වයස ඇතුළු කිසිදු විස්තරයක් පළ නොකරන්නට චීන මාධ්‍යය වග බලාගෙන තිබුණේය.

කන හදාගන්නට මඟක් සොයමින් සිටි ජී අන්තිමටම වෛද්‍ය ගුවෝ ෂූසොන්ග් වෙත පැමිණියේ දැඩි කායික සහ මානසික වෙහෙසකින් යුතුවයි. වෛද්‍යය ගුවෝ ෂූසොන්ග්, ෂැන්ක්ෂි ප්‍රාන්තයේ ෂියෑන්හි රෝහලක ප්ලාස්ටික් ශල්‍යකර්ම විශේෂඥවරයෙකි. මුහුණු බද්ධ ශල්‍යයකර්මය 2006 වසරේදී චීනයේ පළමුවෙන්ම සිදු කළේද මේ කියන ගුවෝ ෂූසොන්ග් වෛද්‍යවරයායි. එනිසා ඔහු අභියෝගවලට මුහුණ දෙන්නට කැමැති වෛද්‍යවරයෙක් විය. වෛද්‍යවරයා ජීව භාර ගැනීම ප්‍රතික්ෂේප කළේ නැත. එමෙන්ම ජීට කනක් ලබාදීමේ කාර්යයෙහිදී නව ක්‍රමයක් අත්හදා බලන්නටත් වෛද්‍යවරයා සැලසුම් කළේය.

නව ක්‍රමය අත්හදා බලමින්ම ජීට කනක් ලබාදීමේ කාර්යය ඉතා ඉක්මනින් ඇරඹිණ. වෛද්‍යවරයා හරී අපූරු දෙයක් කරන්නට පටන්ගත්තේය. එනම් ජීගේ අතක් මත කනක් වර්ධනය කිරීමේ ක්‍රියාවලිය ඇරඹීමයි. ඇත්තටම කිවහොත් අත මත කන ඇති කිරීම සහ සකස් කළ කන හිසට බද්ධ කිරීම අදියර තුනක කාරියකි.

පළමුවෙන්ම කෙරුණේ ජීගේ බාහුවේ පූර්ව කොටසේ සම, එබුණු තත්ත්වයකට පමුණුවා කන සකසා ගැනීමට උචිත පරිසරයක් නිර්මාණය කරගැනීමයි. දෙවනුව ඒ පරිසරය තුළ කන වර්ධනය කිරීම ඇරඹිණ. ඒ සඳහා වෛද්‍යවරයා යොදා ගත්තේ ජීගේ ඉළයේ අස්ථිවල (එනම් පර්ශු අස්ථිවල) කාටිලේජය. එකී පටක කොටස් ජීගේ බහුව මත රඳවමින් වෛද්‍යවරයා තම කාර්යය අදියරයෙන් අදියර ඉදිරියට රැගෙන යන්නට පටන්ගත් බව වාර්තා වේ. පළමු අදියර නිමවී දෙවන අදියරත් අවසන් අවස්ථාවට එළඹෙන්නට මාස හතරක පමණ කාලයක් ගත වූයේය. ගෙවුණු ඒ හාර මාසයක කාලය තුළ ජීගේ බාහුව මත යස අපූරුවට කෘත්‍රිම කනක් වැඩෙමින් ඇත.

දැන් තිබෙන්නේ තෙවන අදියරයට ළඟාවීම බව චීන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගුවෝ ෂූසොන්ග් වෛද්‍යවරයා පවසා තිබුණේය. එනම්, සම්පූර්ණයෙන්ම වර්ධනය කෙරුණු කන ජීගේ හිසට බද්ධ කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමයි. ඒ සඳහා තවත් මාස තුන හතරක කාලයක් ගතවන බව වෛද්‍යවරයාගේ මතය වේ. කොහොම වුණත් අමාරුම අදියර ලෙස සැලකෙන දෙවන අදියර හෙවත් කන වර්ධනය කරවීමේ අදියර සාර්ථක වී ඇති බව හෙතෙම සනාථ කර තිබිණ.