ඡන්දය තිබ්බොත් ආණ්ඩුව කුජීත විදියට පරදිනවා

බැඳුම්කර වංචාවේ ප්‍රධාන චෝදනාකරු වත්මන් අගමැතිතුමා බවත් නීතියේ ආධිපත්‍යය එතුමාගේ තට්ටමට යටවී තිබෙන නිසා ඔහු එම සියලු චෝදනාවලින් මිදී හැසිරෙන බවත් සමාජවාදී ජනතා පෙරමුණේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඔහු පවසන්නේ දූෂණයට විරුද්ධව නැඟී සිටින පුද්ගලයා පිරිසුදු දෑත් ඇතිව නැඟී සිටිය යුතු බවයි.

ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (26දා) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
නානායක්කාර මහතා මෙසේද පැවැසුවේය.

2017 වසර මේ ආණ්ඩුවේ පැවතීම හෝ නොපැවතීම තීරණය වන වසරක්. පළාත් පාලන ඡන්දය එන වසරේ තිබ්බොත් මේ ආණ්ඩුව කුජීත විදියට පරාද වෙනවා. ඒ සමඟම මේ ආණ්ඩුවට තිබෙන නීතියුක්ත භාවය නැති වෙනවා. ආණ්ඩුවට නීතියුක්තිභාවය නැති වුණාට පස්සෙ ආණ්ඩුවට පවතින්න බැහැ.

එන වසරේ විශාල ජීවන වියදම් බරකට මේ රටේ පොදු ජනතාව හසුවෙන්න නියමිතයි. දැනටමත් පනවලා තිබෙන වැට් බදු ඇතුළු අනෙකුත් බදු පෙබරවාරි, මාර්තු වෙනකොට අය කිරීමට නියමිතයි. ඊට අමතරව තවත් බදු පනවන්න නියමිතයි.

රුපියලේ වටිනාකම අඩුවී ඩොලරයේ වටිනාකම වැඩිවී ඇති ප්‍රමාණයට භාණ්ඩවල මිල වැඩිවෙනවා. එසේ මිල වැඩිවීමත් සමඟ වැටුප් වැඩි කරන්න කියල මිනිස්සු ඉල්ලන්න පටන් ගනියි.

ඉදිරියේදී විශාල වැඩවර්ජන ප්‍රමාණයක් ඇති විය හැකියි.

ආණ්ඩුවට දැන් තිබෙන එකම විකල්පය තමයි රාජ්‍ය දේපළ විකිණීමේ ක්‍රියාමාර්ගය. ඒ මඟින් තමයි ආණ්ඩුව දැන් සල්ලි හොයන්න පටන් අරන් තිබෙන්නේ.
ඒ කාලේ හැරී ජයවර්ධන රක්‍ෂණ සංස්ථාව ගත්තට පස්සෙ ඒ ආයතනය කඩා වැටුණා.

රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය කිරීමට හෝ පෞද්ගලික රාජ්‍ය හවුල් ක්‍රමයට අවසාන වශයෙන් රාජ්‍යයේ පාලන බලය පෞද්ගලික අංශයට පැවරීම හා ක්‍රම ක්‍රමයෙන් පෞද්ගලික අංශයට අයිතියේ වැඩි පංගුවට පත්කිරීමේ උපාය අපේ සේවකයන් දන්නවා.

රජයේ සේවකයන්ට වැඩි කරපු රුපියල් 10,000 පඩි වැඩිවීමේ වටිනාකම දැන් අඩුවෙලා තිබෙනවා.

විශේෂ බලතල ඇති ඇමැතිවරයෙක් පත්කිරීමේ යෝජනාව තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල නැහැ. නමුත් පළාත් සභාවලට ඉදිරිපත් කරලා තිබෙනවා. පළාත් සභාවලත් මේ යෝජනාව ප්‍රතික්‍ෂේප වෙමින් යනවා. අගමැතිවරයා රැගෙන ආපු මේ යෝජනාව ප්‍රතික්‍ෂේප වෙනවා නම් පාර්ලිමේන්තුව තුළ මෛත්‍රි පාර්ශ්වයත් මෙය ප්‍රතික්‍ෂේප කරනවා නම් ඒකාබද්ධ විපක්‍ෂය හැටියට අපිත් විරුද්ධ නම් ජනතා විමුක්ති පෙරමුණත් විරුද්ධ නම් මේ යෝජනාව සම්මත කරන්නට හැකියාවක් නැහැ. එවිට අගමැතිවරයාගේ අධිකාරිය සම්පූර්ණයෙන්ම අහිමි වූ බව එතුමා පිළිගත යුතුයි. හොරකම කළා, හොරකම කරන්න අනුබල දුන්නා, හොරකම පිටුපස හිටියා බැඳුම්කරයේ. එතුමා ඉදිරිපත් කරන සියලු අණපනත්වලට සියලු දෙනාම විරුද්ධයි. මේ අගමැතිගේ ඇති වැඩක් නැහැ.

ලංකාවට හාල් මෙට්රික් ටොන් ලක්‍ෂයක් ගෙන්වීමට කටයුතු කරනවා කියලා ආණ්ඩුව කියනවා. මේ නිසා හාල් පිළිබඳ විශාල අර්බුදයකට මේ ආණ්ඩුව ලක්වෙලා තිබෙනවා. මේ රටේ ජනතාවට රුපියල් 85කට හාල් කිලෝවක් මිලදී ගන්න හැකියාවක් නැහැ.

ගොවීන් කියන්නෙ ඔවුන් වී විකුණලා තිබෙන්නේ රුපියල් තිහට කියලා. ඒ වීම හාල්වෙලා එනකොට රුපියල් 85ක්. මේ ආණ්ඩුවේ නොහැකියාව
පිළිබඳ ජනතාවට තිබෙන්නේ කෝපයක්. මේ ආණ්ඩුවත් අගමැතිවරයාත් අස්විය යුතුයි.

සමාජවාදී ජනතා පෙරමුණේ කැඳවුම්කරු රාජා කොල්ලුරේ මහතා,

රුපියල මේ වෙනකොට ශීඝ්‍රයෙන් පහත යමින් තිබෙනවා. එවැනි රටක ආයෝජනයට ආයෝජකයන් පැමිණෙන්නේ නැහැ.

රටක ආර්ථිකය කළමනාකරණය කිරීමේදී ස්ථාවර විනිමය තත්ත්වයක් පවත්වාගෙන යා යුතුයි. නැතිනම් ආර්ථිකය කළමනාකරණය කරන්නට අපහසු වෙනවා.
වත්මන් ආණ්ඩුවට මේ වනවිට වසර 2ක් වනවා. නමුත් පෙනෙන්නට තිබෙන්නේ මේ ආණ්ඩුවට කිසිම ආර්ථික කළමනාකරණයක් නැති බවයි. එළැඹෙන වසර අපේ රටට ආර්ථික වශයෙන් අනතුරුදායක විය හැකියි.

ඛනිජ තෙල් මිල මේ වෙනකොට ඉහළ ගිහින් තිබෙනවා. ඔපෙක් රටවල්ද ඇතුළුව සියලුම රටවල් මේ වනවිට ඛනිජ තෙල් නිෂ්පාදනය සීමා කරලා තිබෙනවා.

ආණ්ඩුව විවිධ වූ ගිවිසුම්වලට අත්සන් කළත් ඒ කිසිම ගිවිසුමක් පිළිබඳව ජනතාව දැනුවත් නැහැ. එය ජනතා පරමාධිපත්‍යයට කරන නිගරු කිරීමක්.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා ලංකා සම සමාජ පක්‍ෂයේ ජාතික සංවිධායක වයි.ජී. පද්මසිරි මහතා,

මේ රජය ආරම්භයේ සිටම ජනතාව රැවැට්ටුවා. කිසිසේත්ම මෙය ජාතික ආණ්ඩුවකුත් නෙමේ.

අගමැතිවරයා පසුගිය සතියේ මල්වතු හා අස්ගිරි නාහිමිවරුන් හමුවුණා. එතුමගෙන් මාධ්‍ය ප්‍රශ්න කළා මොනවද මහ නාහිමිවරු කිව්වෙ කියලා. එතකොට මොකක්ද අගමැති කිව්වේ. මට කිව්වෙ බුද්ධං සරණං ධම්මං සරණං, සංඝං සරණං කියලායි. ගච්ඡාමි කියන කෑල්ලත් හැලුව. නමුත් නව ව්‍යවස්ථාව හදනකොට සැලකිල්ලට ගත යුතු කාරණා කිහිපයක් ගැන මහනාහිමිවරු එතුමා දැනුවත් කරලා තිබෙනවා. නමුත් අරවගේ විහිළු සහගත කතාවක් තමයි අගමැතිවරයා මාධ්‍යයට කිව්වේ.

වසර 5කට බලයට පත්වන ආණ්ඩුවක් සමහර දේපළ අවුරුදු 99 කට බදු දෙනව කියන එකත් මොන විදිහේ ප්‍රජාතන්ත්‍රවාදයක්ද කියල අපිට තේරෙන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොන ප්‍රතිපාදන පාවිච්චි කරලද එහෙම කරන්නේ.