වියළි මිරිස්‌වල උග්‍ර විෂක්

ඉන්දියාවෙන් ආනයනය කරන වියළි මිරිස්‌ පර්යේෂණවලට යොමු කිරීමේදී ඒවා වගාවේදී අධික විෂ සහිත කෘමිනාශකයක්‌ වූ මොනක්‍රොටපොස්‌ යොදා ඇති බව අනාවරණය වී තිබේ.

මේ පිළිබඳ අනුරාධපුර දිසාපති කාර්යාලයේ පැවැති දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටුවේදී උතුරුමැද පළාත් නියෝජ්‍ය කෘෂි අධ්‍යක්‌ෂ (ව්‍යාප්ති) බ. ප. ස. වි. පතිරණ මහතා විසින් අනාවරණය කරනු ලැබීය.

ඔහු මෙසේ ද පැවසීය.

“දේශීය හා පරිභෝජනය සඳහා නිතිපතා විශාල වියළි මිරිස්‌ ප්‍රමාණයක්‌ ඉන්දියාවෙන් ආනයනය කරනවා. මේ වියළි මිරිස්‌ පර්යේෂණවලට යොමු කිරීමේදී ඒවා වගාවේදී අධික විෂ සහිත කෘමිනාශකයක්‌ වූ මොනක්‍රොටපොස්‌ යොදා ඇති බව අනාවරණය වී තිබෙනවා. මෙම උග්‍ර විෂ සහිත කෘමිනාශකය ලංකාවේ භාවිතා කිරීම පවා තහනම් කරලා. නමුත් රටේ පරිභෝජනයට යොදා ගන්නේ මොනක්‍රොටපොස්‌ මිශ්‍ර ඉන්දියානු මිරිස්‌. මෙයට ඇති හොඳම විසඳුම තමන්ගේ ගෙදර භාවිතයට වුවමනා මිරිස්‌ ටික ගෙවත්තේ වවා ගැනීමයි.“

“දේශීය වශයෙන් කෘෂි රසායන භාවිතය අවම කළාට වැඩක්‌ නෑ. ආනයනික මිරිස්‌ වැනි ආහාර බෝග ඒ රටවල වගා කිරීමේදී විෂ අධික කෘෂි රසායන යොදලා. ඒවා මේ රටට ආනයනය කළාම අපි නැවත අපේ ආහාර වේලට කෘමිනාශක මුහුකර ගන්නවා. ආනයනික ආහාර බෝග ලස්‌සනට තිබිය යුතු නිසා ඔවුන් මේ විදියට කෘමිනාශක යොදනවා විය හැකියි. මේ උගුලෙන් ගැලවෙන්න නම් අප කළ යුතු එකම දෙය වන්නේ අපේ කෑමට වුමවනා මිරිස්‌ ටික අපේ අතින්ම හදා ගැනීමයි. මේ කන්නයේදී පළාත පුරාම මිරිස්‌ වගාව නැවත ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා. අපේ ආහාර බෝගවලට වස විෂ ඇතුළු වීම වළක්‌වා ගැනීමට නම් අප කළ යුතු හොඳම දෙය වන්නේ අපේ ආහාර වේලට වුවමනා දේ ගෙවත්තේ වගා කර ගැනීමයි.“ නියෝජ්‍ය අධ්‍යක්‌ෂවරයා වැඩිදුරටත් පැවසී ය.