මවුකිරි දීමේදී සුදු අම්මලා ඉදිරියෙන්!

මවු කිරට සම කළ ‍හැකි වෙනත් ආහාරයක් දරුවකුට මෙලොව නැත‍. ඇමෙරිකාවේ හාර්වඩ් විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨය මඟින් කරන ලද පර්යේෂණයකින් ඒ බැව් තවදුරටත් සනාථ වන කරුණු හඳුනා ගෙන තිබේ. විශේෂයෙන් ම කළු සමක් සහිත සහ ස්පාඤ්ඤ බස කතා කරන රටවල දරුවන්ට මවු කිරිවලින් සුවිශේෂ ආරක්ෂාවක් ලැබෙන බව මේ පර්යේෂණයෙන් හෙළි වී තිබේ. මේ රටවල උපදින දරුවන් කර්ණාබාධ, බඩවැල් ආශ්‍රිත ආබාධ හා ක්ෂණික තොටිලි මරණවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් දරන බව ද එමඟින් හෙළි වී තිබේ. මවු කිරි මේ අවදානමෙන් මිදීමට ඇති හොඳම විසඳුම වන බව ද මෙහිදී සනාථ වී ඇත.

උපතේ පටන් මාස 12 ක් යනතුරුවත් මවුකිරි දීමෙන් ඉහත රෝගවලින් වැළැකීමට අවශ්‍ය ප්‍රතිශක්තිය හා ආරක්ෂාව දරුවනට ලැබේ. බෝතලයෙන් කිරි පොවනු ලබන දරුවන් වැඩිපුර ලෙඩ රෝගවලට මෙන් ම මාරාන්තික අවදානම් තත්ත්වයන්ට මුහුණ දෙන බව ද එම පර්යේෂණයෙන් හෙළි වී තිබේ. සුදු හමක් සහිත දරුවනට වඩා කළු හමැති දරුවෝ වැඩියෙන් මේ අවදානමට පාත්‍ර වෙත්.

වසරකට අඩුවෙන් මවු කිරි ලබාදෙන කළු හමැති දරුවන්, සුදු හමක් සහිත දරුවන්ට වඩා දෙගුණයකින් මරණීය ලෙඩ රෝගවලට මුහුණ පාති. කළු හමැති දරුවන් කර්ණාබාධවලට මෙන් ම බඩවැල් ආශ්‍රිත රෝගවලට ගොදුරු වීමේ අවදානම සුදු හමැති දරුවන්ට වඩා 1.7 වාරයක් වැඩි බව ද හෙළි වී තිබේ. එසේ ම ස්පාඤ්ඤ බස කතා කරන රටවල දරුවෝ සුදු හමක් සහිත දරුවන්ට වඩා 1.4 ගුණයකින් එම අවදානම උසුලති.

දරුවන්ට කිරි දීම මවගේ සෞඛ්‍යයට ද හිතකරය. නිසි පරිදි දරුවන්ට මවුකිරි නොදෙන කළු සමක් සහිත මවුවරුන් අධික රුධිර පීඩනය හා දෙවැනි ගණයේ දියවැඩියා රෝගයකට ගොදුරු වීමට ඇති හැකියාව සුදු හමක් සහිත මවුවරුන්ට වඩා 1.4 ගුණයකින් වැඩි බව ද මේ පර්යේෂණයෙන් හෙළි වී තිබේ. සුදු පැහැ මවුවරු දරුවන්ට මවුකිරි පමණක් ලබාදීම අතින් කළු පැහැ සමැති මවුවරුන්ට වඩා ඉදිරියෙන් සිටිති.

මවුකිරි දීම මවගේ සහ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වයට බලපාන්නේ කෙසේද යන කරුණ පිළිබඳව කළු, සුදු සහ කහ පැහැති සමක් සහිත මවුවරුන් සම්බන්ධ කරගෙන කළ ප්‍රථම පර්යේෂණය මෙය ලෙස සැලකේ. කළු සහ කහ පැහැති හමැති මවුවරුන් හමුවන්නේ ලෝකයේ දුප්පත් සහ සංවර්ධනය වෙමින් පවතින රටවලිනි. බොහෝ විට මොවුන් සිය පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා ද වේ. ‍එවැනි දිළිඳු කාන්තාවන්ට දරුවන්ට කිරිදීම සඳහා අවශ්‍ය තරම් නිවාඩු නොලැබීම ද මෙයට එක් හේතුවක් වී ඇතැයි පර්යේෂණය මෙහෙය වූ කේම්බ්‍රිජ් සෞඛ්‍ය සංවිධානයේ මහාචාර්ය වෛද්‍ය මේලිස්සා බාර්ටික් පවසයි.

දිළිඳු බව හා ජීවන තත්ත්වය ඔවුන්ගේ මෙන් ම දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි කොතරම් අයහපත් ආකාරයට බලපාන්නේ ද යන්න මෙයින් හෙළි වන බව ද ඇය කියයි. මවුකිරි දීම සඳහා ස්ත්‍රිය සතු අයිතිය තහවුරු වන සේ කටයුතු කිරීම මේ ගැටලුවෙන් මිදීමට ඇති හොඳම පිළියම බව ද ඇය යෝජනා කරයි.