අවම දඩය නිසා හදිසි අනතුරු අඩුවෙයි

රජය විසින් මාර්ගනීති කඩකිරීම සම්බන්ධයෙන් වූ අවම දඩ මුදල ඉහළ දැමීමත් සමඟ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත දෛනිකව ඇතුළත් කරන රෝගීන්ගේ ප්‍රමාණයේ ද අඩුවක් දක්නට ලැබෙන බව කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරීනි පුෂ්පා රම්‍යනි සොයිසා මෙනවිය පැවසුවාය.

පසුගිය කාලයේ දී කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත දෛනිකව රෝගීන් 350ත් 400ත් අතර පිරිසක් පැමිණෙන බවත් එය පසුගිය සති කිහිපයක් පුරා රෝගීන් 220ත් 250ත් අතර ප්‍රමාණයක් දක්වා අඩුවී ඇතැයි ද සොයිසා මෙනවිය පෙන්වා දුන්නාය.

පසුගිය වර්ෂ හා සැසදීමේ දී උත්සව සමයත් පවතින මෙවන් කාලයක එලෙස මාර්ග අනතුරු අවමවීමක් බලාපොරොත්තු විය නොහැකි බවත් පෙන්වා දෙන ඒ මහත්මිය දඩ මුදල් සංශෝධනයේ වෙනසත් සමඟ මගී ජනතාව ඉතා සැලකිලිමත් ලෙස මාර්ග කටයුතුවල නියැලීම ඒ සඳහා හේතු වන්නට ඇතැයි විශ්වාස කරයි.

2016 වසරේ මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත රෝගීන් 94,000ක් පැමිණ ඇති අතර පසුගිය 2015 වසරේ දී රෝගීන් 102,132ක් රෝහල්ගත වී ඇත. 2016 වසරේ නොවැම්බර් මාසයේ දී රෝගීන් 7465ක් මෙම ඒකකයට ඇතුළත් කොට ඇති අතර එය 2015 නොවැම්බර් මාසයේ දී රෝගීන් 8342ක් ලෙස වාර්තා වේ.

ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත පැමිණෙන රෝගීන්ගේ 20%කට පමණ මාර්ග අනතුරු හේතු වන බවත් එම සංඛ්‍යාව මේ වන විට 18%කට පමණ අඩුවී ඇතැයි ද ඒ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.