ලිත් බෙදූ නඩුවෙන් බැසිල් නිදහස්

දිවිනැඟුම අරමුදලේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපති විසින් ‍ගොනුකළ නඩුවට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු දෙදෙනෙකුට ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කරගෙන තිබේ.

අදාළ නඩුව අද (06) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥවරයා විසින් මෙම අධිචෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලා අස්කරගෙන තිබේ.

ඒ අනුව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ සමෘද්ධි අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන විත්තිකරුවන් නිදහස් කිරීමට මහාධිකරණය විසින් කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ ගොනුකරන ලද අධිචෝදනා පත්‍රවල තාක්ෂණික දෝෂයක් පවතින බැවින් නැවත නඩු පැවරීමේ බලාපොරොත්තුවෙන් ඒවා ඉවත්කර ගැනීමට අවසර ලබාදෙන ලෙසයි.

ඒ අනුව එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු පත්මිණී එන්. රණවක එම අධිචෝදනා ඉවත්කර ගැනීමට අවසර ලබාදී තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවිනැඟුම අරමුදලෙන් රු. ලක්ෂ 290ට අධික මුදලක් යොදවාගෙන ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීමට පියවර ගැනීම තුළින් එම අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට නීතිපතිවරයා විසින් මොවුන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබුණි.

මීට පෙරාතුව තමාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මාස 3ක කාලයක් අමෙරිකාවේ සංචාරය කිරීමට බැසිල් රාජපක්ෂ මහතා විසින් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණු අතර අද දිනයේ එම ඉල්ලීමටද අවසර ලබාදී තිබේ.