A/L ප්‍රතිඵල ප්‍රමාදයෙන් සිසුන්ට අසාධාරණයක්

අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම විභාග ප්‍රතිඵල අපේක්ෂිත සිසුන්ට සිදුකරන බලවත් අසාධාරණයක් බව විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.

විභාග කොමසාරිස්වරයා, එළැඹෙන ජනවාරි 12 වැනිදා දක්වා විභාග ප්‍රතිඵල ප්‍රමාද වන බව පවසමින් ඊට හේතුව ලෙස හුවා දැක්වූයේ තාක්ෂණ විෂය ධාරාවට ළමුන් 30,000ක් වැනි අධික සිසුන් පිරිසක් ඉදිරිපත් වීම බවත් ස්ටාලින් මහතා පැවැසීය.

විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන් ප්‍රමාණය මීට බලපාන හේතුවක් ලෙස හුවා දැක්වීම හාස්‍යයට කරුණක් බවත් ඔවුන්ගේ අවිධිමත් බව හා සැලසුම් සහගත බවක් නොමැතිවීම මින් ඔප්පු වන බවත් ඒ මහතා පැවැසීය.

මේ හේතුවෙන් වඩාත් පීඩනයට ලක්වන්නේ සිසු දරුවන් බව පෙන්වා දුන් ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

"මේ වන විට විදේශ ශිෂ්‍යත්ව අපේක්ෂා කරන සිසුන්ට එම පාඨමාලාවල දින ඉකුත්වයෑම නිසා පාඨමාලා සඳහා අයැදුම් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. දෙවැනිවර විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන සිසුන්ටද මේ හේතුවෙන් ගැටලු රැසකට මුහුණදීමට සිදුවෙනවා.

2014 දී ප්‍රතිඵල නිකුත් වූයේ එම වසරේ දෙසැම්බර් 27 වැනිදා. 2015 වසරේදී ඡන්දය නිසා ප්‍රමාද වුණා කියලා 2015 ජනවාරි 02 වැනිදා ප්‍රතිඵල නිකුත් කළා. 2016 වසරේ විභාග ප්‍රතිඵල නිකුත්වීම ක්‍රමානුකූලව දිනෙන් දින ප්‍රමාද වන බවක් තමයි මින් පෙනෙන්නේ.

මේ තත්ත්වය සිසුන්ට බරපතළ පීඩාවක්. දරුවන් අපේක්ෂාභංගත්වයට පත්වීමක්. අපි ජනාධිපති සහ අගමැතිතුමන්ගෙන් මේ ගැන සලකා බලන ලෙස ඉල්ලීමක් කරලයි තිබෙන්නේ" යැයිද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.