මගේ පඩිය 95,000යි

ජනාධිපතිවරයා හැටියට තමන්ට ලැබෙන වැටුප රුපියල් 95,000ක් බවත් එහෙත් තමා කිසිසේත්ම වැටුප් වැඩි කිරීමක් ඉල්ලන්නේ නැති බවත් බරපතළ ණය මත යැපෙන අසීරු ආදායම් තත්ත්වයක් ඇති රටක මහජන නියෝජිතයන් හැටියට මීට වඩා සරල ජීවන පැවැත්මක් ගැන හිතන්නට පුරුදු විය යුතු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දූෂණ විරෝධී ජාතික සමුළුවේදී ප්‍රකාශ කෙළේය. සංවිධානාත්මක මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ ගැන කතා කරන නමුත් අද රාජ්‍ය සේවාව තුළ තිබෙන සංවිධානාත්මක අල්ලස් හා දූෂණ ගැන කතා කරන්නේ නැති බවත් ජනාධිපතිවරයා පැවැසීය.

එක් දෙපාර්තමේන්තුවක සීසීටීවී කැමරා සවි කරන්නට තීරණය කළ විට ඊට එරෙහිව එහි සේවය කරන පිරිස් වැඩ වර්ජනය කරන්නට තීරණය කිරීමෙන් පෙනී යන්නේ අප මොනතරම් පිරිහීමට පත්ව තිබෙනවාද යන්න බවත් ජනපති කීවේය.

රාජ්‍ය ආයතනවල ටෙන්ඩර් ක්‍රියාවලිය දූෂිත බවත් තාක්ෂණික ඇගැයුම් කමිටු දූෂිත බවත් ටෙන්ඩර් මණ්ඩල දූෂිත බවත් තමා මෙයට පෙර ප්‍රකාශ කඳ පරිදිම නැවත සඳහන් කරන බවත් හෙතෙම පැවැසුවේය. රාජ්‍ය ආයතනවල සිදුවන වංචා දූෂණ වළක්වාගත හැකි නම් ඒ තුළ රජයට අහිමිවන මුදල් යොදා අය - වැය පරතරය අවම කරගත හැකි බවද ජනපති ප්‍රකාශ කෙළේය.

අන්තර්ජාතික දූෂණ, විරෝධී දිනය නිමිත්තෙන් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය සංවිධානය කළ කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ පැවැති දූෂණ විරෝධී සමුළුවේදී ජනාධිපතිවරයා මේ බව පැවැසීය.