පුංචි ඡන්දය මාර්තු 31ට පෙර

පළාත් පාලන මැතිවරණයට අදාළ සීමා නිර්ණයන් මේ මස 28 වැනිදා ගැසට් කිරීමට බලාපොරොත්තු වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.

එදිනට සීමා නිර්ණයන් ගැසට් කළහොත් මාර්තු 31 වැනි දිනට පෙර මැතිවරණය පැවැත්වීමට හැකි වන බවද ඔහු පවසා සිටියේය.සීමා නිර්ණ ගැටලු විසඳීම සඳහා පත් කළ කොට්ඨාස සීමා නිර්ණය පිළිබඳ අභියාචනා විමර්ශන කමිටුවේ වාර්තාව මේ මස 27 වැනිදා ලබාදෙන බවට එම කමිටුවේ සභාපතිවරයා පොරොන්දු වී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊයේ (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ කමිටු වාර්තාව මේ මස 31 වැනි දිනට පෙර ලබාදෙන බවට මුලින් පොරොන්දුවක් ලබා දී තිබෙන නිසා එදිනට කමිටු වාර්තාව ලබාදීමට නොහැකි වුවහොත් කමිටුව පිළිබඳවද තීරණයක් ගැනීමට සිදුවන බවයි.

මැතිවරණය කල්දැමීම පිළිබඳ පක්ෂ විපක්ෂ සමහර පිරිස් තමාට චෝදනා එල්ල කළ බවත්, එහෙත් පසුගිය ආණ්ඩු සමයේ සිදුකළ සීමා නිර්ණ කටයුතු ගැටලු සහගත නිසා එම ගැටලු විසඳීමට සිදු වූ බවත් අමාත්‍යවරයා කියා සිටියේය. කොට්ඨාස 4000 න් කොට්ඨාස 2000කම ගැටලු පැවැති බවත්, එම ගැටලු විසඳීම සඳහා මෙම කාලය ගත වූ බවත් හෙතෙම පවසා සිටියේය.