මහින්දගේ ආරක්ෂාවට ඉන්න 206 දෙනාගේ දීමනා කපලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රභූ ආරක්‍ෂක ඒකකයට ලබාදෙන ප්‍රභූ ආරක්‍ෂක දීමනාව අප්‍රේල් මාසයේ සිට කපා හැර ඇති බව වාර්තා වෙයි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 206කින් යුත් බලඇණියක් යොදවා ඇති අතර ඉන් කිසිම නිලධාරියකුට ප්‍රභූ ආරක්‍ෂාව වෙනුවෙන් ලබාදෙන මූලික වැටුපෙන් 33%ක දීමනාව ලබා නොදෙන බව එම ආරක්‍ෂක ඒකකයේ නිලධාරීහු පවසති.

තවද සාමාන්‍ය පොලිස් නිලධාරීන්ගෙන් විශේෂ සම්මුඛ පරීක්‍ෂණයක් මෙන්ම ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයක් පවත්වා ඉන් සමත් වන නිලධාරීන් පමණක් ප්‍රභූ ආරක්‍ෂක ඒකකයට බඳවා ගන්නා අතර ඒ සියලුම සුදුසුකම් සපුරා ඇති අතර මේ නිලධාරීන්ට අප්‍රේල් මස සිට මේ දීමනාව ලබාදී නැති බවද එම නිලධාරීහු පවසති.

ප්‍රභූ ආරක්‍ෂාව සඳහා යොදවා ඇති සෑම නිලධාරියකුටම දුෂ්කර දීමනා ලෙස රුපියල් 2400ක මුදලක්ද සිය වැටුපට ඇතුළත් කළත් මේ මුදලද මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රභූ ආරක්‍ෂක ඒකකයට ලබා නොදෙන බව එම නිලධාරීහු පවසති. ඒ අනුව මාසිකව ඔවුනට රුපියල් 10,000ක මුදලක් අහිමි වන බව එම නිලධාරීහු පවසති.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ සියලුම ප්‍රභූ ආරක්‍ෂක නිලධාරින්ට කිසිදු අඩු කිරීමකින් තොරව වැටුප් හා දීමනා ලබා දුන්නත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රභූ ආරක්‍ෂකයන්ට එම දීමනා ලබා නොදීම බරපතළ අසාධාරණයක් බවද එම නිලධාරීහු පවසති.

මේ සම්බන්ධයෙන් විශ්‍රාමික ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාස අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි සරත්චන්ද්‍ර ගුණතිලක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ අවශ්‍ය ලිපි ලේඛන සියල්ල සමඟ ඉල්ලීම් කර ඇති බවත් තවමත් එම දීමනා තම ඒකකයට ලැබී නොමැති බවත්ය.