ලෝක බැංකුවෙන් අ.ඩො.මිලියන 1340ක සහන ණයක්

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1340 ක සහන ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළකරයි.

අදාළ එකඟතාව ඊයේ (16) පෙරවරුවේ ලෝක බැංකුව නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට දැනුම් දුන් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කෙළේය. ඊයේ සන්ධ්‍යාවේ මුදල් අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේය. මෙම සහන ණය මුදල ඉදිරි වසර තුනක කාලය ඇතුළත ශ්‍රී ලංකාවට හිමිවන අතර, එය වසර 15 කින් ගෙවා නිමකිරීමේ සහන කාලයක් ලබා දී ඇත.

වැඩිදුරටත් අදහස් දක්වන මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා,

ශ්‍රී ලංකාව 2017 වසරේදී මැදි ආදායම් සහිත රටක් බවට පත් වනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 4000 ක් පමණ වේ. මෙම තත්ත්වයත් සමඟ ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සහන ණය ප්‍රමාණය අඩු වනු ඇත. එහෙත් රට නැවත අලුත් ගමනක් ආරම්භ කර තිබෙන මොහොතක, ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 4000 පැවැතියත්, දැනට සහන පදනමක් මත ලබාදෙන ණය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන ලෙස අපි ලෝක බැංකුවෙන් ඉල්ලා සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම අමෙරිකානු ඩොලර් මිලියන 1340 ක මුදල ඉතාම අඩු පොලී අනුපාතයක් යටතේ වසර 15 කින් ගෙවා නිමකිරීමේ පදනම මත ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළකළා. මේක රටක් වශයෙන් අපිට විශාල ශක්තියක්. ලෝක බැංකුව අපේ රටේ ආර්ථික සංවර්ධන ගමන්මඟ සම්බන්ධයෙන් පවතින විශ්වාසය, මෙවැනි සහන ණය මුදලක් ලබාදීම තුළින් පෙනී යනවා යැයි ද අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.