සා.පෙළ සිසුන් 12කට ඩෙංගු

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් 12කට ඩෙංගු රෝගය වැලඳී අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුළත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වාර්තාවීම ඉහළ යාමත් සමඟ ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ශක්තිමත් කර ඇති බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත පසුගිය සඳුදා ආරම්භ කළ විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය,සිවිල් ආරක්ෂක බළකාය සහ සෞඛ්‍ය සේවකයන් ඒකාබද්ධව ධුමායන කටයුතු සහ නිවාස පරීක්ෂා කිරීම සිදු කරන බව ජාතික ඩෙංගු මදුරු මර්දන ඒකකය පවසයි. 

ඊයේ (15) වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 47900ක් වන අතර මියගොස් ඇති සංඛ්‍යාව 77කි. මේ අතර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඩෙංගු රෝගය වැලඳුණු සිසු සිසුවියන් 12 දෙනෙකු අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුළත් කර ඇත. එම විභාග අපේක්ෂකයින් වෙනුවෙන් එම රෝහලේ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.