ආවා හැදුවේ ගෝඨා

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
උතුරේ ක්‍රියාත්මකවන බව කියන 'ආවා' නමැති කල්ලිය හිටපු ආරක්ෂක ලේකම්ගේ අනුදැනුම මත ගොඩනඟන ලද මැර කල්ලියක් බව රජයේ කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ පුද්ගලයින් අද දවසේද ක්‍රියාත්මක වන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අවශ්‍යතා අනුව මත බවත්,එය ගොඩනැඟුව බ්‍රිගේඩයර්වරයා තමන් දන්නා බවත් අමාත්‍යවරයා කියා සිටියේ අද(02)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

ඒ කාලයේ ක්‍රියාත්මකවූ වෙනත් ද්‍රවිඩ කල්ලි මර්දනය කිරීමේ අරමුණෙන් මෙවන් කණ්ඩායම් බිහිකරන්නට ඇති නමුත් ඒවා අදට අවශ්‍ය නැති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අනෙක් අතට ඒවා ඒ කාලයේ හැදීමේ වැරැද්දක්ද තමා නොදකින බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

කෙසේ වෙතත් වත්මන් ආරක්ෂක ලේකම්වරයා විසින් මෙම සංවිධානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය ගොඩනැඟී ඇත්තේ ද්‍රවිඩ චිත්‍රපට බැලීමෙන් බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර තිබීම සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීයෙකු විසින් ප්‍රශ්න කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ මැර කල්ලි සෑදීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගේ දැනුම ඒ ආකාරයෙන් විය හැකි බවයි.