අද රට පුරා වෛද්‍යවරු වර්ජනයේ

අයවැය යෝජනා කිහිපයකට විරෝධය දක්‌වමින් දිවයින පුරා වෛද්‍යවරුන් අද (30 දා) දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

මෙම වර්ජනය සඳහා රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය සහ රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය සහාය දක්‌වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ළමා රෝහල්, කාන්තා රෝහල්, පිළිකා රෝහල් සහ වකුගඩු ප්‍රතිකාර මධ්‍යස්‌ථානවල වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන අතර වර්ජිත රෝහල්වල ද හදිසි ප්‍රතිකාර සේවා පවත්වාගෙන යන බව වෛද්‍ය සොයිසා මහතා පැවසුවේය.

විශ්‍රාම වැටුප් ක්‍රමවේදය අහිමි කිරීම, වෘත්තීයවේදීන් ඇතුළු රජයේ සේවක වැටුප්, දීමනා හා ප්‍රධාන රැකියාවන් පසු කරන රැකියාවන් අධික බදුවලට යටත් කිරීම, දුම්කොළ නිවාරණය සඳහා දුම්කොළ සමාගම්වලින් ජනාධිපති අරමුදලට මුදල් ප්‍රදාන ලබාගැනීම, රෝහල් පුද්ගලික අංශයට විවෘත කිරීම, රෝගීන්ට බිලක්‌ නියම කිරීම, සෞඛ්‍ය රක්‍ෂණ ක්‍රමවේදයක්‌ හඳුන්වාදීම, මෙරට රැකියා සඳහා පැමිණීමට විදේශිකයන්ට අවසර දීම මගින් එට්‌කා ගිවිසුම හොර පාරෙන් ක්‍රියාත්මක කිරීම වැනි කරුණුවලට එරෙහිව මෙම වැඩවර්ජනය අද දවසේ ක්‍රියාත්මක කෙරේ.

තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණොත් මෙම වැඩවර්ජනය ඉදිරියේදී අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ දක්‌වා ව්‍යාප්ත කරන බව ද ඒ සඳහා සෙසු වෘත්තීය සමිති ද එක්‌කර ගන්නා බව ද නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.