ටිරාන් රිමාන්ඩ්

ටිරාන් රිමාන්ඩ්
රාඩා ආයතනය හරහා රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ලවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ව්‍යාපාරික ටිරාන් අලස් ඇතුළු තිදෙනෙකු නොවැම්බර් මස 10වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව අද(02)කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණය විසින් මොවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අධිකරණය විසින් නිකුත් කළ නොතීසියට අනුව ටිරාන් අලස්,සාලිය වික්‍රමසූරිය සහ ජයන්ත ඩයස් සමරසිංහ තිදෙනා අද (02) අධිකරණයේ පෙනී සිටියහ.

මෙහිදී අධිකරණය විසින් විත්තිකරුවන්ට චෝදනා පත්‍ර බාරදුන් අතර නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ විසින් විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත අනුව චෝදනා එල්ලවී ඇති බැවින් සුවිශේෂි

කරුණු ඉදිරිපත් නොවන්නේනම් ඔවුන් රිමාන්ඩ් බාරයට පත්කරන ලෙස ඉල්ලීමක් කරන ලදී.

ඊට ප්‍රතිචාර දක්වමින් විත්තියේ නීතිඥවරුන් කියා සිටියේ විත්තිකරු තදබල හෘද රෝගී තත්ත්වයෙන් පසුවන බැවින් රිමාන්ඩ් කරනු ලැබුවහොත් ප්‍රතිකාර ලබාගැනීමට නොහැකි නිසා ජීවිතයට අවදානමක් පවා ඇති බවයි.

අදාළ නඩුව මුල් ලේඛන නොමැතිව ඉදිරිපත් කර ඇති බැවින් එය පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත්,ඒවා සුවිශේෂි කරුණු ලෙස සලකා විත්තිකරුවන්ට ඇප ලබාදෙන ලෙසත් විත්තියේ නීතිඥවරුන් මෙහිදී ඉල්ලා සිටින ලදී.

එහෙත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා මෙහිදී අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ විත්ති පාර්ශවය විසින් පෙන්වාදෙන පරිදි සෞඛ්‍ය කරුණු සත්‍යදැයි අනාවරණය කිරීමට කොළඹ අධිකරණ නිලධාරියා ලවා පරීක්ෂණයක් කරවා ගත යුතුබවයි.

ඒ සඳහා තමන් මෝසමක් ඉදිරිපත් කරනතුරු මොවුන් රිමාන්ඩ් බාරයේ තබන ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මිය විසින් විත්තිකරුවන් නොවැම්බර් මස 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරන ලදී.

මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර ඇති එල්.ටී.ටී.ඊ නායකයෙකු වන එමිල් කාන්තන් අධිකරණය මගහැර සිටියද ඒ වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිටි බවද නීතිඥයින් විසින් මෙහිදී අධිකරණයට දන්වා ඇත.