“ඉදිකටුපාන” ආසන්නයේ බියර් විකුණා මාට්ටු

ඉදිකටුපාන
නල්ලතන්නිය-ශ්‍රිපාද මාර්ගයේ “ඉදිකටුපාන” ප්‍රදේශයේදී ශ්‍රීපාදය බලා පැමිණෙන විදේශිය සංචරකයින්ට බියර් ටින් අලෙවි කරමින් සිටි වෙළදසල් හිමියෙක් මි.ග්‍රෑම්ස් 330 බියර් ටින් 24 ක් සමග පෙරේදා (19) අළුයම නල්ලතන්නිය පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

නල්ලතන්නිය පොලිස්ථානාධිපති පෙලිස් පරීක්ෂක අනිල් ප්‍රසන්න ජයසිංහ මහතාට ලැබුණ තොරතුරක් මත බියර් ටින් මිළදී ගැනීමට උපාය දූතයකු යොදවා සැකකරු හා බියර් ටින් තොගය අත්අඩංගුවට ගෙන ඇත.


‍මෙම බියර් ටින් එකක් රුපියල් 350/- ක් වැනි මිළකට ශ්‍රීපාදය බලා පැමිණෙන විදේශිකයන්ට සැකකරු විකිණීම සිදු කළ බවත්, සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරන බවත් පොලිස්ථානාධිපතිවරයා පැවසීය.

නල්ලතන්නිය පොලිස්ථානාධිපති අනිල් ප්‍රසන්න ජයසිංහ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක අඛිල හා පොලිස් සහයක සේවා බණ්ඩාර (1996) යන නිලධාරීහූ මෙම වැටලීම සිදු කළහ.

(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

මේ අතර මෙවර ශ්‍රීපාද වන්දනා සමයේදී ශ්‍රීපාද අඩවියට පොලිතීන් හා ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය රැගෙන ඒම සපුරා තහනම් බවත්, වන්දනාකරුවන් විසින් රැගෙන එන පොලිතීන් ඇතුළු දිරා නොයන ඝණ අපද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සදහා පොලීසියේද සහාය ඇතිව ස්ථාන කීපයකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ගමන් මළු පරීක්ෂා කිරීම සිදුකරන හෙයින්, ශ්‍රීපාද පුදබිමට පැමිණෙන විට පොලිතීන් රැගෙන ඒමෙන් වළකින ලෙස වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පී.ඩී.කේ.අධිකාරී මහතා පැවසීය.

ශ්‍රීපාද රාජකාරී සදහා පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමට ප්‍රථම දැණුම්වත් කරමින් ඉකුත් (18) දා පෙරවරුවේ නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේදී පවැත්වූ විශේෂ රැස්වීමකදී වෛද්‍ය අධිකාරී මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී.ඩී.කේ අධිකාරී මහතා කියා සිටියේ, නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාව සදහා පැමිණෙන සෑම වන්දනාකරුවෙකුගේම ගමන් මළුවල රැලෙන එන පොලිතීන් හා ප්ලාස්ටික් බෝතල් අත් අඩංගුවට ගැනිමට මාවුස්සාකැලේ පොලිස් මුරපොළේදී, නල්ලතන්නිය ශ්‍රීපාද මාවතට පිවිසෙන පාළම මතදී හා ගගුලතැන්නමහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය අසලදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පරීක්ෂාවට ලක් කිරිම සිදු කරන බවය. මෙම ක්‍රියාවලිය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව පවසන වෛද්‍ය අධිකාරී මහතා, දිරා නොයන පොලිතීන් හා ඝණ අපද්‍රව්‍ය ශ්‍රීපාද පුදබිමට රැගෙන ඒමෙන් වළකින ලෙසත් ඊට විකල්ප ක්‍රියාමාර්ග භාවිතා කරන ලෙසත්, ශ්‍රීපාද වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් කීය. තවද නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ ඉදිකර ඇති තාවකාලික වෙළදසල්වල පොලිතීන් හා ප්ලාස්ටික් බෝතල් අලෙවියද තහනම්කර ඇති බව වෛද්‍ය අධිකාරි මහතා පැවසීය.

වන්දනා වාරය ආරම්භයේ පටන් නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ ගගුලතැන්න හා නල්ලතන්නිය යන මහජන සේඛ්‍ය පරීක්ෂක කාර්යාලවල දිනපතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනා බැගින් පරිසර වැඩසටහන් හා ආහාර වැටලීම් ඇතුළු සනීපාරක්ෂක කටයුතු සදහා සේවයේ යොදවන බව පවසන වෛද්‍ය අධිකාරි මහතා, ශ්‍රීපාද මාර්ගයේ දුම්වැටි ප්‍රසිද්ධියේ පාවිච්චියද තහනම් කර ඇති බව කීය. රෝගීන්ට ප්‍රථමාධාර ලබාදීම සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් මෙම මස (30) වෙනි දින සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් දික්ඔය දිස්ත්‍රික් මූලික රෝහලේදී පවත්වන බවත්, එහිදී පුහුණුව ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය ශ්‍රීපාද වන්දනා සමය තුළදි වන්දනාකරුවන්ගේ පහසුව තකා යොදවන බවත් පවසන වෛද්‍ය අධිකාරි මහතා, සති අන්ත දිනවලදී නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ වෛද්‍යවරයකු රැදී සිටිමින්, වනදනාවේ පැමිණ රෝගී වන ජනතාව වෙනුවෙන් ප්‍රතිකාර කිරීම හා හදිසි රෝගීන් රෝහල් වෙත යොමු කිරීම සිදු කෙරෙන බවත් කීය.

වන්දනා සමයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනෙක් හදිසි මරණ පරීක්ෂකවරුන් ලෙස හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවේ දිවුරුම් දීමට නියමිත බවද වෛද්‍ය පී.ඩී.කේ.අධිකාරි මහතා වැඩිදුරටත් පැවසීය.