මාධ්‍ය ගැහුවොත් මමත් ගහනවා...

මාධ්‍යයෙන් තමන්ට පහර දෙන්නේ නම් තමන්ද මාධ්‍යයට පහරදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) පාර්ලිමේන්තුවේදී පැවැසීය. ඒ අද (28) පෙරවරුවේ පැවති ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිණි.

තමන් එසේ පහර දෙන්නේ ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පමණක් බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

පෙරවරුවේ පැවති ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් ජනතා විමුකිත් පෙරමුණේ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා, සන්ඩේ ටයිම්ස්, දෙරණ ආදී මාධ්‍ය ආතනවලට එල්ලවන සෘජු බලපෑම් සම්බන්ධයෙන් ඇතුළු මාධ්‍ය ආයතන වෙත එල්ලවන බලපෑම් සම්බන්ධයෙනුත් පැවති පාලන සමයේ සිදු කළ පහරදීම් හා ඝාතනයන් සම්බන්ධයෙන් පරීක්ෂණ විදිමත් ලෙස සිදු නොවීමත් සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටි අතර එහිදී නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

මාධ්‍ය ආයතනවලට ගිනි තැබීමට, පුවත්පත් කර්තෘවරුන් පැහැරගෙන යාමට, හමුදාව ලවා මාධ්‍යවේදීන්ට පහරදීමට, මාධ්‍යවේදීන් ඝාතනය කිරිමට තමාට හෝ ජනපතිවරයාට අවශ්‍ය නොවන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

තමා මෙන්ම ජනපතිවරයා මාධ්‍යවෙනුවෙන් පැවැසිය යුතු දේ ප්‍රසිද්ධියේ කියන බවද ඔහු පැවැසීය.
මාධ්‍යවේදීන්ගේ වැටුප් වැඩිකිරීමේ අවශ්‍යතාවයද මෙහිදී අනුර දිසානායක මහතා මතු කළේය.