නිරෝෂාගේ ගෙදර හුටපටයක්‌

නිරෝෂාගේ ගෙදර හුටපටයක්‌
සුප්‍රසිද්ධ ගායිකාවක වන නිරෝෂා විරාජිනී මහත්මියට කාලයක්‌ තිස්‌සේ කරදර කළ මානසික රෝගී පුද්ගලයකුට ඇගේ නිවසේ සිටි පුද්ගලයන් දෙදෙනකු පහර දුන්නේ යෑයි 11 දා අලුයම කඳාන පොලිස්‌ ස්‌ථානයට පැමිණිල්ලක්‌ ලැබී ඇතැයි පොලිසිය පවසයි.

පහර කෑමට ලක්‌වූ පුද්ගලයා කඳාන පොලිස්‌ ස්‌ථානයේ පැමිණිල්ල ගොනු කර රෝහල් තුණ්‌ඩුවත් සමඟ රාගම රෝහලේ 19 වාට්‌ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර 12 දා සවස සිට රෝහලින් අතුරුදන්ව ඇතැයි රාගම රෝහල් පොලිසිය කියයි.

තමාගේ බිරිඳ නිරෝෂා විරාජිනී යෑයි පවසන මෙම මානසික රෝගී පුද්ගලයා ඇගේ නිවසට ගොස්‌ ඇය හමුවීමට අවශ්‍ය බව පැවසූ විට එහි සිටි පුද්ගලයන් දෙදෙනකු එම පුද්ගලයාට තදින් පහර දී ඇතැයි වාර්තාවේ.

එම සිද්ධිය දැක මානසික රෝගී පුද්ගලයා බේරා ගැනීමට පැමිණි අසල්වැසි පුද්ගලයකුටද නිරෝෂා විරාජිනි මහත්මියගේ නිවසේ සිටි අය පහර දී ඇති අතර, ඒ සම්බන්ධවද කඳාන පොලිස්‌ ස්‌ථානයේ පැමිණිල්ලක්‌ දමා ඇත. නිරෝෂා විරාජිනී මහත්මිය පදිංචි අයිවරි උද්‍යානය, පරණ ඩී. ආර්. ඕ පාර, කඳාන නිවස ආසන්න නිවසක පදිංචි වී සිටින මෙම පුද්ගලයා වසර කීපයක්‌ තිස්‌සේ ඇය තමාගේ බිරිඳ බව පවසමින් ඇයට කරදර වන අයුරින් හැසිරී ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී හෙළි වී තිබුණි.

සිද්ධිය සම්බන්ධව නිරෝෂා විරාජිනී මහත්මියගෙන් අප විමසීමක්‌ කළ අතර ඇය මෙසේ ප්‍රකාශ කළාය.

"පිස්‌සෙක්‌ අපේ ගේ වටේ කැරකෙනවා. ඒක පරණ සිද්ධියක්‌ මාධ්‍යයට අදහස්‌ දෙන්න බෑ. එහෙම පහර දීමක්‌ වුණේ නෑ".