ආබාධිත රණවිරුවන්ට පහර දීම නින්දිත ක්‍රියාවක්‌

සේවා විශ්‍රාම වැටුපක්‌ ඉල්ලා විරෝධතාවක නිරත වූ ආබාධිත හමුදා රණවිරුවන්ට කඳුළු ගෑස්‌ ගසා ජල ප්‍රහාර එල්ල කිරීම නින්දිත ක්‍රියාවක්‌ බව, හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (07 දා) පැවැති උත්සවයක්‌ අවසානයේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බැව් ප්‍රකාශ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

ආබාධිත රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳන්න එදා අපේ රජය සමයේදී කැබිනට්‌ අනුමැතිය පවා ලැබුණා. එවන් තත්ත්වයක්‌ යටතේ කළ මේ පහරදීම නින්දිත ක්‍රියාවක්‌. අද මැතිවරණ කොමසාරිස්‌ එක එක දේ කියනවා. අද එකක්‌ හෙට එකක්‌. මැතිවරණ කොමසාරිස්‌ ගැන කනගාටුයි. අද ආවා ගෲප් ගැන ඇහුවම, ආවා ගියා කියලා මේ අය කියනවා. ඒක ගණන් ගන්නේ නැහැ.

මෙහිදී අලුතින් හැදුණු පක්‍ෂය පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ පැනයට හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

පක්‍ෂ හැදෙන්නේ රටේ ජනතාවගේ වුවමනාවට. බොහෝ විට අලුත් පක්‍ෂය ඒකාබද්ධයට සහාය ලබා දෙයි.