ධීවරයන්ටත් ටැබ් පරිගණක

ධීවරයන්ටත් ටැබ් පරිගණක
මෙරට ධීවර ප්‍රජාව සඳහා නවීන තාක්ෂණය හඳුන්වාදීමේ වැඩපිළිවෙළ යටතේ ටැබ් පරිගණක ද ලබාදීමට තීරණය කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

නවීන තාක්ෂණික ක්‍රම ඔස්සේ මසුන් සොයාගැනීමේ උපකරණ (Fish finder) මුහුද මැද දී සිදුවන අනතුරු කල්තියා දැනගැනීමේ උපකරණ (Tranceponder) වලට අමතරව මෙම ටැබ් පිරිනමන බව හෙතෙම කීවේය.
එම තාක්ෂණික උපකරණ දැනට මිලදී ගැනීම් සිදුවන බව ද හෙතෙම පැවසීය.

මීට අමතරව වසර දෙකක් ඇතුළත මෙරට සියලු ධීවරයින් සඳහා ස්ථිර නිවසක් සහ සනීපාරක්ෂක කටයුතු ඇතුළු යටිතල පහසුකම් සකසන බව ද මහින්ද අමරවීර මහතා පැවසීය.

ලෝක ධීවර දිනය වෙනුවෙන් මට්ටක්කුලිය ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ දී ‘ධීවර ප්‍රජා ගුවන්විදුලිය’ ආරම්භ කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඊයේ (21) අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ධීවර ජනතාවට පහසුකම් සහිත නවීන තාක්ෂණික යාත්‍රා ලබාදීම මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ඒ අනුව අඩි 55ක දිගින් යුත් ධීවර යාත්‍රා මෙම වසර තුළ හඳුන්වා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

2017 අයවැය මගින් ධීවර ප්‍රජාවට වෙන් කළ මුදල් හරහා මඩකලපුව, මන්නාරම, හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුළ ජලජ ජීවී වගා සංවර්ධන කලාපයන් ආරම්භ කෙරෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම ජාතික රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වන මෙරට රැකියා දස ලක්ෂයක් ඇතිකිරීමේ දී ධීවර ක්‍ෂේත්‍රයෙන් රැකියා ලක්ෂයක් මෙරටට දායාද කිරීමට තමන් කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

සවන්ති රත්නායක