එක්දින නායකත්වය උපුල් තරංගට

එක්දින නායකත්වය උපුල් තරංගට
ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ හා උප නායක දිනේෂ් චන්දිමාල් ආබාධයන්ට ලක්‌ව සිටීම හේතුවෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට්‌ තරගාවලියේ නායකයා වශයෙන් උපුල් තරංග නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් තේරී පත්වන 19 වැනි එක්‌දින නායකයා උපුල් තරංග වන අතර කණ්‌ඩායමේ උපනායක වශයෙන් කුසල් පෙරේරා කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ අද්දැකීම් බහුල ක්‍රීඩකයෙක්‌ වන උපුල් තරංග සිය ක්‍රිකට්‌ දිවියේ එක්‌දින තරග 188 කට සහභාගී වෙමින් ඉනිම් 174 කදී ලකුණු 5526 ක්‌ රැස්‌කරගෙන තිබෙන්නේ ඊට ශතක 13 ක්‌ සහ අර්ධ ශතක 29 ක්‌ එක්‌ කරමිනි.

එමෙන්ම මෙතෙක්‌ එක්‌දින වරම් ලබා නොමැති අසේල ගුණරත්නවද මෙම සංචිතයට එක්‌කර තිබේ.

ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම්හි සහභාගීත්වයෙන් එළැඹෙන 14 දා සිට අදාළ තුන්කොන් තරගාවලිය ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව පළමු වටයේදී එක්‌ කණ්‌ඩායමකට තරග 4 බැගින් හිමිවන අතර පළමු තරගය ශ්‍රී ලංකා කණ්‌ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්‌ඩායම අතර පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම

උපුල් තරංග (නායක), කුසල් පෙරේරා (උප නායක), ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්‌වැල්ල, කුසල් මෙන්ඩිස්‌, ශෙහාන් ජයසූරිය, අසේල ගුණරත්න, සචිත් පතිරණ, නුවන් කුලසේකර, දසුන් ශානක, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, සුරංග ලක්‌මාල්, ලක්‌ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩ්‍රසි