ජල ගාස්‌තු ඉහළ දමයි

ජල ගාස්‌තු ලබන මාසයේ (දෙසැම්බර්) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය තීරණය කර ඇත.

මේ සඳහා වූ ගැසට්‌ නිවේදනය ඊයේ (11 දා) නිකුත් කර තිබේ.

රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කරන ලද අංක 1991/37 දරන අති විශේෂ ගැසට්‌ නිවේදනයට අනුව කාණ්‌ඩ නවයක්‌ යටතේ ජල ඒකක ගාස්‌තු හා මාසික සේවා ගාස්‌තු ඉහළ නංවා ඇති බව එහි සඳහන් වේ.

ඇතැම් කාණ්‌ඩවලදී සියයට 30 ත් 50 ත් අතර ප්‍රමාණයකින් මිල ඉහළ යනු ඇත.

සමෘද්ධිලාභී නොවන ජල පාරිභෝගිකයන්ගෙන් ඒකක 0 ත් 5 ත් අතර වූ ජල ඒකකයට අය කරනු ලැබූ රුපියල් 8 ක ගාස්‌තුව රුපියල් 16 දක්‌වා ද, ඒ සඳහා වූ මාසික සේවා ගාස්‌තුව රුපියල් 50 සිට 250 දක්‌වාද, ඒකක 16 ත් 20 ත් අතර රුපියල් 40 ක්‌ව තිබූ ගාස්‌තුව රුපියල් 52 ක්‌ දක්‌වා ද රුපියල් 80 ක්‌ වූ මාසික සේවා ගාස්‌තුව රුපියල් 400 දක්‌වා ද ඉහළ නංවා තිබේ.

පාසල් හා ආගමික ස්‌ථානයන්ගෙන් ඒකක 0 ත් 5 ත් අතර ඒකක සඳහා අය කළ රුපියල් 50 ක්‌ වූ මාසික සේවා ගාස්‌තුව රුපියල් 300 දක්‌වා ද ජල ඒකකයකට අය කළ රුපියල් 6 ක්‌ වූ ගාස්‌තුව රුපියල් 7 ක්‌ දක්‌වා ද ඉහළ යනු ඇත.

කාණ්‌ඩ නවය සඳහා එක්‌ එක්‌ අයුරින් ජල ගාස්‌තු ඉහළ දමා තිබේ.

මේ පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ සභාපති කේ. ඒ. අන්සාර් මහතා සඳහන් කළේ දීර්ඝකාලීනව ජල පාරිභෝගිකයාට ගුණාත්මක හා ඵලදායී සේවාවක්‌ ලබාදීමේ අරමුණින් වසර 4 කට පසු මෙම ගාස්‌තු වැඩි කළ බවත්ය.