කුඹුරු ගොඩකිරීම ජනපති නියෝගයෙන් නවතියි

කුඹුරු ඉඩම් ගොඩකිරීම තහනම් කිරීමට අදාළ චක්‍රලේඛය ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් එම්. ඒ. එස්. වීරසිංහ මහතා විසින් නිකුත් කර ඇත.

කුඹුරු ඉඩම් ගොඩකිරීම නැවැත්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම නියෝගය කිරීමෙන් පසුව ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයාගේ අත්සනින් යුතුව මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

පසුගිය මස 24 වැනිදා නිකුත් වී ඇති මෙම චක්‍රලේඛයට අනුව ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල කුඹුරු ඉඩමක් නොවන බවට සහතික ලබාදීම, කුඹුරු ඉඩමක් වෙනත් කාර්යයකට ලබාදීම නතර වෙනු ඇත. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පසුගිය මාස කිහිපය තුළ කුඹුරු ඉඩම් ගොඩ කිරීමට එරෙහිව ගත් දැඩි ක්‍රියාමාර්ග හා කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතාට කළ දැනුම්දීම අනුව මෙම නව චක්‍රලේඛය නිකුත්වී ඇත.

ඉඩම් ගොඩකිරීමට අදාළ ඉල්ලීම් භාර නොගන්නා ලෙසත් එම ඉල්ලීම් ප්‍රධාන කාර්යාලයට යොමු නොකරන ලෙසත් සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර ගොවිජන කොමසාරිස්වරුන් වෙත ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල්වරයා චක්‍රලේඛය මගින් දන්වා ඇත. එසේම ඉදිරි කටයුතු සඳහා යොමු වී තිබෙන වාර්තා ගැන ද මෙදිනෙන් පසු සලකා නොබලන බව ද නව චක්‍රලේඛයේ සඳහන් වේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ඊයේ (20) පෙරවරුවේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැණිදෙනිය සිට ගෙලිඔය දක්වා ප්‍රදේශයේ කුඹුරු ඉඩම් ගොඩ කිරීම හා ඒවායේ කෙරෙන ඉදිකිරීම් අත්හිටුවීමට ද අදාළ බලධාරීන් වෙත උ‍පදෙස් ලබා දුන්නාය.

එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ ආණ්ඩුකාරවරිය නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති කමල් ආරියවංශ මහතාට උපදෙස් දුන්නා ය.

හසජ සමරනායක