ඇමෙරිකානු ජනාධිපතිවරණය හෙට

american election
අමෙරිකාවට පමණක් සීමා නොවී මුළුමහත් ලෝකයේම ආර්ථික, සාමාජයීය, දේශපාලනික තත්වයට බලපෑම් එල්ල කරන අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය හෙට (08) පැවැත්වේ.

සිව් වසරක ධුර කාලයක් වෙනුවෙන් ජනාධිපතිවරයකු තෝරාපත්කර ගැනීම සඳහා වසරක පමණ කාලයක් තිස්සේ පැවැත්වෙන මැතිවරණ ක්‍රියාදාමයේ ජනාධිපතිවරයකු තෝරාපත් කරගැනීම වෙනුවෙන් එරට පැවැත්වෙන 58 වැනි ජනාධිපතිවරණය මෙයයි.

මෙම ජනාධිපතිවරණ ක්‍රියාවලියේ ප්‍රාන්ත 50ක ඡන්ද දායකයන්ගේ කැමැත්ත පරිදි හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේදී අමෙරිකානුවන් විසින් සිය 45 වැනි ජනාධිපතිවරයා තෝරාපත් කරගනු ලැබීමට නියමිතය.

හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේදී රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඞ් ට්‍රම්ප් පරාජය කර ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක හිලරි ක්ලින්ටන් ජයගනු ඇතැයි බොහෝ මැතිවරණ සමීක්ෂණ හා පූර්ව මැතිවරණ ඡන්ද විමසීම් ප්‍රතිඵලවලින් අනාවැකි පළ කර තිබේ.

ඊයේ වනවිට මිලියන 31ක් පමණ තැපැල් හා සෙසු අයගේ ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

වත්මන් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඍජුව සහය පළකරන හිලරි ක්ලින්ටන් ඊයේ වනවිට මූලික ඡන්ද විමසීමෙන් ඡන්ද නියෝජිතයන් 538න් 278ක් ලබාගෙන තිබූ අතර ට්‍රම්ප් ලබාගෙන තිබුණේ 214ක් පමණි.

නව ජනාධිපතිවරයා ලෙස හිලරි ක්ලින්ටන් පත්වුවහොත් ඇය ඇමෙරිකාවේ පළමුවැනි කාන්තා ජනාධිපතිවරිය ලෙස වාර්තාගත වනු ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය වෙනුවෙන් තරග වැදීම සඳහා ඒ ඒ ප්‍රාන්තවල දී පසුගිය පෙබරවාරි සිට ජුනි දක්වා කාලය තුළ යොදාගත් දිනවලදී ඡන්දය පවත්වමින් සුදුසු අපේක්ෂකයෝ තෝරා ගැනෙති.

විශේෂිත නියෝජිත මණ්ඩලයක් මගින් හා පක්ෂ ක්‍රියාකාරීන්ගේ අභ්‍යන්තර ඡන්දයෙන් විශේෂ නියෝජිතයෝ පිරිසක් ද පසුව තෝරා පත්කර ගැනෙති.

මොවුන් එක්ව තම පක්ෂයේ සුදුසු අපේක්ෂකයන් තෝරාගැනීම සිදුකරන අතර එහිදී 50%කට වැඩි ඡන්ද ලබාගන්නා අපේක්ෂකයන් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස නම් කෙරේ.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස හිලරි ක්ලින්ටන් ද, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් ද ඉදිරිපත්ව වී සිටිති.

මීට අමතරව ගැරි ජොන්සන් (ලිබටේරියන් පක්ෂය), ජිල් ස්ටේයින් (ග්‍රීන් පක්ෂය), ඩැරල්ට් කාසල් (කන්ස්ටිටියුෂන්) හා කෙවින් මැක්මුලින් (ස්වාධීන පක්ෂ) යන අය සුළු පක්ෂ අපෙක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටිති.

හෙට පැවැත්වෙන ඡන්දයේදී ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා රටේ ඡන්ද දායකයන් සිය කැමැත්ත ප්‍රකාශ කරමින් ඡන්දය ප්‍රකාශ කළ ද එම ඍජු ඡන්දයෙන් ජනාධිපතිවරයා තෝරා පත්කර නොගැනේ.

ඡන්ද දායකයන් තම ප්‍රාන්තයෙන් කැමති අපේක්ෂකයා වෙත ඡන්දය ලබාදෙන විට එහි ඡන්ද නියෝජිතයන් (Electoral College) එම ඡන්ද නියෝජනය කරන අතර වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා අපේක්ෂකයාට ප්‍රාන්තයේ සියලුම ඡන්ද නියෝජිතයන්ගේ සහය හිමිවන බවට සැළකේ.

උදාහරණයක් ලෙස යම් ප්‍රාන්තයක හිලරිට වැඩි ඡන්ද සංඛ්‍යාවක් හිමිවී ඇත්නම් හා එහි ඡන්ද නියෝජිතයන් 30ක් සිටී නම් එම තිස්දෙනාගේම සහය හිමිවන්නේ හිලරිට ය.

එක් ප්‍රාන්තයක මුළු ඡන්ද නියෝජිතයන්ගේ අවමය 3ක් විය හැකි අතර උපරිමය 535කි.

හෙට දිනයේදී ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද නියෝජිතයන් 538න් 270ක් එක් අපේක්ෂකයකු විසින් හිමිකරගත යුතු ය.

මෙම ප්‍රතිඵල සැළකිල්ලට ගෙන දෙසැම්බර් 19 වැනි දා විශේෂ ඡන්ද නියෝජිතයන්ගේ විශේෂ ඡන්දයක් මගින් ඇමෙරිකානු ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා තෝරා ගනු ලැබේ.

ඉන් අනතුරුව ලබන වසරේ ජනවාරි 06 වැනිදා නව ජනාධිපතිවරයා හා නව උප ජනාධිපතිවරයාගේ ඡන්ද ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලබන්නේ කොංග්‍රසය මගිනි.

ඒ අනුව ජනවාරි 20 වැනිදා සිය ධුර කාලය වෙනුවෙන් නව ජනාධිපති සහ උප ජනාධිපතිවරයා දිවුරුම් දීමට නියමිත ය.

එදින තෙක් වත්මන් ජනාධිපති බරක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරයෙහි කටයුතු කරනු ඇත.
ප්‍රබෝධා හෙට්ටිආරච්චි