අම්පිටියේ සුමනරතන හිමියන්ට වාරණ නියෝගයක්

අම්පිටියේ සුමනරතන
ජාතීන් අතර සංහිඳියාවට බාධාවන ආකාරයේ ප්‍රචණ්ඩ ප්‍රකාශන සිදු කිරීම සම්බන්ධයෙන් මතභේදයට ලක් වී සිටින මඩකලපුව මංගලාරාමයේ අම්පිටියේ සුමනරතන හිමියන්ට එරෙහිව එරාවුර් සංචාරක අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත.
දෙමළ ජාතිකයකුට අයත් ඉඩමකට බලහත්කාරයෙන් පිවිසීම මුල්කර ගනිමින් හටගත් මතභේදයකින් අනතුරුවයි එම වාරන නියෝගය නිකුත් කරනු ලැබ තිබෙන්නේ.

එම අධිකරණ නියෝගය අනුව අම්පිටියේ සුමනරතන හිමියන්ට අදාළ ඉඩමට යළි පිවිසීම තහනම් වෙයි.
A - 5 මාර්ගයේ දමිළ ගම්මානයක පිහිටි ඉඩමට ඇතුල් වී එහි බෞද්ධ විහාරයක් පැවති බවක් පවසමින් සුමන හිමියන් ගම්වාසීන් සමඟ විවාදයක පැටලුන අවස්ථාවේයි, පොලිසිය අධිකරණ නියෝගය උන්වහන්සේට දැනුම් දී තිබෙන්නේ.
මහාමාර්ගයේ පෙළපාලි පැවැත්වීම,මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණ පැවැත්වීම, ඉඩමකට බලහත්කාරයෙන් ඇතුල්වීම, එම ඉඩම තුළ ගොඩනැගිලි ඉදිකිරීමට කටයුතු කිරීම, සලකුණු හෝ ගස් හිටුවීම, රැස්වීම් පැවැත්වීම තහනම් කරමිනුයි අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන්නේ.
සෙන්කලඩි -බදුල්ල මාර්ගයේ පිහිටි පන්කුඩාවෙලි ගමේ පිහිටි අදාළ පෞද්ගලික ඉඩමේ බෞද්ධ පුරාවස්තු ඇති බවයි අම්පිටියේ සුමනරතන හිමියන් පවසන්නේ.
එම අවස්ථාවේ එහි ගැටුම්කාරී තත්වයක් උද්ගත වූ අතර අනතුරුව එහි පැමිණි කරදියනාරු පොලිසිය එරාවුර් සංචාරක අධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය සුමනරතන හිමියන්ට භාර දී ඇත.
ඉන් ස්වල්ප වේලාවකට පසු උන්වහන්සේ එම ස්ථානයෙන් පිට වී ගිය බවයි වාර්තා වන්නේ.
කලින් මුස්ලිම් ජාතිකයකු සතු වූ ප්‍රශ්නයට මුල්වී ඇති ඉඩම වත්මන් දමිළ ජාතික අයිතිකරු විසින් පසුව මිළ දී ගෙන ඇති අතර දැන් එම ඉඩමේ වී ගොවිතැන් කරන බව ප්‍රදේශවාසීහු පවසති.