උදාවන සතියේ ඔබේ දෛවය

උදාවන සතියේ ඔබේ දෛවය
මේෂ ලග්නය

සඳු හතරේ ද ලග්නාධිපති කුජ දහවැන්නේද රවි අටේ ද ගමන් කරමින් උදාවන සතිය මිශ්‍රඵලදායක බව පෙනේ. කෙසේ නමුත් ගෘහ ජීවිතයේ බොහෝ කටයුතු සාර්ථක කරගැනීමට හැකිවේ. මව්පියන්ට සුබයි. සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවීමට ඉඩ තිබේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු වලට තරමක බාධා පවති. ව්‍යාපාර සඳහා මුදල් යෙදවීමේදී ප්‍රවේශම් වෙන්න. රැකියා හා ව්‍යාපාර අංශවල සේවක පක්‌ෂයෙන් බාධා ඇතිවීමට ඉඩ තිබේ. උත්සාහය ධෛර්යය නිසා බොහෝ අවහිරතා ම`ගහරවා ගැනීමට ශක්‌තිය ලැබේ. බිරිඳ හෝ සැමියාට සුබයි. රවි ශනි දශා ගත කරන අයට තරමක අපල තිබේ.

සුබ පාට සුදු රෝස
සුබ අංක 2 3

වෘෂභ ලග්නය

උදාවන සතිය මුලදී ඔබට ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. ලිපි ලේඛන හා ශාස්‌ත්‍රීය කටයුතු වල යෙදෙන අයට සුභයි. බාල සහෝදරයෙකු ගැන සතුටුදායක ආරංචියක්‌ ලැබේ. උත්සාහය ධෛර්යය ඉහළ යයි. අසල්වාසීන් සමග සුහදතාවය වර්ධනය වේ. බලාපොරොත්තුවෙන් සිටි ණය මුදලක්‌ නොලැබීයැමට ඉඩ තිබේ. බිරිඳ හෝ සැමියාට මිශ්‍රපලදායකයි. අධ්‍යාපන කටයුතු වල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබයි. මේ අතර සිත් තැවුලක්‌ ඇතිවීමට ද කරුණු යෙදේ. වැදගත් තීරණ ගන්නා විට ඒ පිළිබඳව දැනුමැති කෙනෙකුගේ උපදෙස්‌ ගන්න. තනි තීරණ ගැනීමෙන් වලකින්න.

සුබ පාට සුදු රෝස
සුබ අංක 2 3

මිථුන ලග්නය

මෙම සතිය ඔබේ පවුල් ජීවිත පිළිබඳ කටයුතු බොහෝදුරට සාර්ථක කරගත හැකිවේ. ආදායම් සතුටුදායක වනවා ඇත. උත්සාහය ධෛර්යය වැඩිවේ. මව්පියන්ට සුබයි. විවාහ සහකරුට ද සුබපලදායකයි. අවිවාහක අයගේ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්‌ථිර කරගැනීමට හැකිවේ. අන් අයගේ ද උදව් උපකාර ලැබේ. සතුරු කරදරයකින් ජය ලැබේ. ස්‌වයංරැකියා හා කෘෂිකාර්මික කටයුතු වලට සුබයි. හවුල් ව්‍යාපාර සඳහා මුදල් යෙදවීමෙන් ලාබ ලබාගත හැකියි. කුජ දශා ගත කරන අය හදිසි අනතුරු වලින් ප්‍රවේශම් වෙන්න. අන් අයට මිශ්‍රපලදායකයි.

සුබ පාට සුදු මිශ්‍ර ලා
සුබ අංක 2 6

කටක ලග්නය

උදාවන සතිය සුබපලදායකයි. හිතේ සතුට ඇතිවේ. රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට කරුණූ යෙදේ. ලිපි ලේඛන හා ශාස්‌ත්‍රීය කටයුතු කරන අයට විශේෂ සුබ පල ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකි වේ. දරුවන්ට මිශ්‍රපලදායකයි. අධික කේන්තිය නිසා අඹු සැමි භේද ඇතිවීමට ඉඩ ඇත. විවාහ සහකරු හෝ ව්‍යාපාර හවුල්කරුවන් සමග කටයුතු කරන විට කල්පනාකාරි වන්න. හිසේ ඌෂ්ණාධික රෝග වැනි අසනීප තත්ත්වයන්ට ඉඩ තිබේ. ආදායම් සතුටුදායක නමුදු වියදම් ද ඉහළ යයි. කේතු දශා ගතකරන අයට තරමක්‌ අපලයි. අන් අයට මිශ්‍රපලදායකයි.

සුබ පාට සුදු කහ
සුබ අංක 2 5

සිංහ ලග්නය

උදාවන සතිය විදේශ රැකියා හෝ විදේශ ගමන් පිළිබඳව කටයුතු සාර්ථක කරයි. ගෘහ ජීවිතය එතරම් සතුටුදායක නොවන බවක පෙනේ. සිත් රිදීම් ඇතිවීමට ඉඩ තිබේ. පෙම්වතුන්ට සුබදායකයි. අවිවාහක අයට මංගල යෝග යෙදේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිවේ. කලා විෂයන් හදාරන ශිෂ්‍යයින්ට විශේෂ සුභ පල ලැබේ. හවුල් ව්‍යාපාරවලින් ලාබ ලැබේ. ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. සතුරු කරදරයකින් ජය ගැනීමට හැකි වේ. සති අන්තය වන විට දරුවකු වෙනුවෙන් අමතර වියදමක්‌ දරන්නට සිදුවේ. කුජ දශා ගත කරන අය ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න.

සුබ පාට රෝස කොල
සුබ අංක 3 4

කන්‍යා ලග්නය

උදාවන සතිය බොහෝදුරට සුබපලදායක වේ. හිතමිතුරන් සමග කාලය සතුටින් ගත වේ. ව්‍යාපාරවලින් ලාබ ලැබේ. ආදායම් තත්ත්වය යහපත් වේ. සහෝදර සබඳතා වර්ධනය වේ. බිරිඳ හෝ සැමියාට සුබයි. ගෘහ ජීවිතයේ බොහෝ කටයුතු සාර්ථක කරගත හැකිවේ. දරුවන්ගේ දියුණුවට කරන දේවල්වලින් සතුටුදායක ප්‍රතිපල ලැබේ. නිවසේ ප්‍රිය සම්භාෂණයක්‌ පැවැත්වීමට හිත යොමුවේ. අලුත්වැඩියාවක්‌ කරගැනීමට ද කරුණූ යෙදේ. වාහන ගනුදෙනු සාර්ථක කෙරේ. අලුත් මිතුරු මිතුරියන් හඳුනාගැනීමට හැකිවේ. කාන්තා පක්‌ෂයේ උදව් උපකාර ලැබිය හැකිය. දරුවකුට අපලයක්‌ ද පෙනේ. විදේශ ගමන් සාර්ථක වේ. කේතු දශා ගත කරන අය ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න.

සුබ පාට සුදු මිශ්‍රලා
සුබ අංක 2 6

තුලා ලග්නය

උදාවන සතියේ රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථකව කිරීමට කරුණූ යෙදේ. දුර ගමනක්‌ හෝ විදේශ ගමන් යෙදීමට ද ඉඩ ඇත. තනතුරේ හෝ තත්ත්වයේ උසස්‌වීමක්‌ ලැබීමට හේතුයි. උසස්‌ අයගේ උදව් උපකාර ලැබේ. ක්‍ෂණික කෝපය හෝ කලබලවීම නිසා පවුලේ සමගියට බාධා ඇතිවීමට ඉඩ තිබේ. අධ්‍යාපන කටයුතු වලට සුබයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු වලින් ද සාර්ථක ප්‍රථිපල අත්කරගත හැකිවේ. අසල්වාසීන් සමග සතුටින් කාලය ගතවේ. විනෝද චාරිකාවක්‌ යැමට ද ඉඩ ඇත. අවිවාහක අයට මංගල යෝජනා ලැබෙනු ඇත. පෙම්වතුන්ට තරමක්‌ බාධා සහිතයි. ව්‍යාපාර සඳහා මුදල් යෙදවීමේදී දුරදිගබලා කටයුතු කරන්න. ගුරු දශා ගතකරන අයට තරමක්‌ අපලයි.

සුබ පාට සුදු රෝස
සුබ අංක 2 3

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නය හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උදාවන සතිය සුබපලදායකයි. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ලිපි ලේඛන හා ශාස්‌ත්‍රීය කටයුතු කරන අයට විශේෂ සුබ පල ලැබේ. උසස්‌ අයගේ ආධාර උපකාර ලැබේ. ආගම දහම කෙරෙහි හිත යොමුවේ. දුර වන්දනා ගමක්‌ යැමට පහසුකම් සැලසේ. ආදායම් සතුටුදායක වේ. විවාහ සහකරු නිසා ධනයක්‌ ලැබීමට ද හේතුයි. චිත්ත ධෛර්යය ඉහළ යයි. සහෝදරයෙකු පිළිබඳව සතුටුදායක ආරංචියක්‌ ලැබේ. ප්‍රතිඵලදායක ගමන් බිමන් යෙදේ. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. දරුවන්ට සුබපලදායකයි. කේතු දශා ගතකරන අයගේ ගෙදර දියුණුවට කරන කටයුතුවලට තරමක බාධා පවතී. අන් අයට මිශ්‍රපලදායකයි.

සුබ පාට සුදු රෝස
සුබ අංක 2 3

ධනු ලග්නය

විවාහ සහකරු නිසා ධනයක්‌ ලැබීමට ඉඩ තිබේ. මේ අතර සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවීමට ද ඉඩ ඇති නිසා වතුරෙන් ප්‍රවේශම් වෙන්න. විදේශ ගමන් සාර්ථක කරගත හැකිවේ. නිතර නිතර නිවසින් පිටව යැමට ද හේතුයි. ආදායම් සතුටුදායක වේ. සාකච්ඡාවෙන්, කථාවෙන්, ප්‍රශ්න විසඳාගැනීමට හැකිවේ. රැකියා හෝ ව්‍යාපාර සුබපලදායකයි. මේ අතර උසස්‌ කෙනෙකු අමනාපවීමට ද ඉඩ ඇති නිසා කල්පනාකාරි වෙන්න. වියදම් ඉහළ යන බව ද පෙනේ. ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කිරීමෙන් ලාබ ලැබේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථකයි. රවි දශා තරමක්‌ අපලයි.

සුබ පාට කහ තැඹිලි
සුබ අංක 3 5

මකර ලග්නය

උදාවන සතිය විවාහ ජීවිතය පිළිබඳව සුබදායක බවක්‌ පෙන්වයි. අවිවාහක අයට මංගල යෝජනා ලැබේ. බිරිඳ හෝ සැමියා සමග පැවති අමනාපකම් දුරුවේ. හවුල් ව්‍යාපාරවලින් ලාබ ලැබේ. ගෙදර දියුණුවට කරන කටයුතු ගැන උත්සාහය ධෛර්යය වැඩිවේ. නොනවත්වාම ක්‍රියා කිරීමෙන් බොහෝ ගැටලු විසඳාගැනීමට හැකිවේ. අලුත් හිතමිතුරන් හඳුනා ගැනීමට ද අවස්‌ථාව උදාවේ. ආදායම් සතුටුදායක වේ. ව්‍යාපාර හා රැකියා අංශවල සේවක පක්‌ෂයේ උදව් උපකාර ලැබේ. ව්‍යාපාර වලට මුදල් යෙදවීමේදී බොහෝ දුර දිග බලා කටයුතු කරන්න. රාහු දශා ගත කරන අයට තරමක්‌ අපලයි. අන් අයට මිශ්‍රපලදායකයි.

සුබ පාට නිල් කොල
සුබ අංක 4 7


කුම්භ ලග්නය

උදාවන සතියේ ඔබේ ගෘහ ජීවිතය බොහෝ දුරට සුබපලදායක වේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ගෘහාශ්‍රිත ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු වලින් ලාබ ලැබේ. උසස්‌ අයගේ ආධාර උපකාර ලැබේ. රැකියා උසස්‌වීම්වලට ද කරුණූ යෙදිය හැකියි. සතිය මුලදී සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවීමට හේතුයි. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විදේශ රැකියා හා විදේශ ගමන් පිළිබඳව බාධා පවති. අසල්වාසීන් හෝ සහෝදරයින් අමනාපවීමට ද ඉඩ ඇත. ඉක්‌මන් කෝපය නිසා පාඩුවක්‌ සිදුවීමට ද ඉඩ තිබේ. කුජ ගුරු දශා අපලයි. අන් අයට මිශ්‍රපලදායකයි.

සුබ පාට මිශ්‍ර පාට ලාකොල
සුබ අංක 4 6

මීන ලග්නය

උදාවන සතිය ඔබට මිශ්‍රපලදායක බව පෙනේ. දරුවන්ගේ කටයුතු ගැන සතුටු විය හැකිවේ. මීන හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විභාග වලින් සාමර්ථ වේ. ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමෙන් ලාබ ලැබේ. ලොතරැයි ජයක්‌ හෝ හදිසි ධන ලාභයක්‌ ලැබිමීට ද ඉඩ තිබේ. සහෝදරයෙකුගේ ජයග්‍රහණයක්‌ ගැන අසන්නට ලැබේ. බිරිඳ හෝ සැමියාට දුර ගමනක්‌ යෙදේ. උසස්‌ අධ්‍යාපන කටයුතු වලට ද සුබයි. අවිවාහක අයට මංගල යෝග යෙදේ. පෙම් සබඳතා හෝ මංගල යෝජනා ස්‌ථිර විය හැකියි. සතිය මැද වන විට සතුරු කරදරයක්‌ නිසා සිත් තැවුලක්‌ ඇතිවීමට ද ඉඩ තිබේ.

සුබ පාට කහ සුදු
සුබ අංක 2 5

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්