මාධ්‍ය නිදහස ඇති රටවල් අතර ලංකාව ඉදිරියට

ලෝක මාධ්‍ය නිදහස පිළිබඳව ‘දේශසීමා රහිත මාධ්‍යවේදියෝ’ නම් ජාත්‍යන්තර සංවිධානය මඟින් මේ වසරේ පවත්වන ලද නවතම සමීක්ෂණයකින් රටවල් 180 ක් අතරින් 141 ක් වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

ලෝකයේ විවිධ රටවල පවතින මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දේශ සීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානය සමීක්ෂණය සිදුකිරීම අරඹා ඇත්තේ 2002 වසරේ සිටය.

සමීක්ෂණයට භාජනය කරන රටවල පවතින ජනමාධ්‍ය නිදහස, ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය, ජනමාධ්‍යවේදීන්ට සම්බන්ධ නීති රාමුවේ ගුණාත්මක බව ආදිය මේ ශ්‍රේණිගත කිරීම් සඳහා යොදා ගැනේ.

මෙම සංවිධානය 2014 දී සහ 2015 දී සිදුකළ සමීක්ෂණයන්ට අනුව ශ්‍රී ලංකාව 165 වැනි ස්ථානයේ සිටියද මෙවර 141 වැනි ස්ථානය දක්වා ස්ථාන 24 කින් ඉදිරියට පැමිණ සුබවාදී වර්ධනයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

මීට පෙර දකුණු ආසියාවේ අවම ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙවර පකිස්ථානය, මැලේසියාව, බංග්ලාදේශය යන රටවල් ඉක්මවා ඉදිරියට පැමිණ ඉන්දියාවට සමීප ස්ථානයක් ලබාගැනීමට සමත්ව ඇත.