ඩීසල්වලට භූමිතෙල් කලවම් කිරීමේ ජාවාරමක්‌

ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් දිවයිනේ ඉන්ධන පිරවුම්හල්වලට ෙපෟද්ගලික බවුසර් රථ මඟින් ඩීසල් ප්‍රවාහනය කිරීමේ දී එම ඩීසල්වලට භූමිතෙල් මිශ්‍රකොට බෙදාහැරීමේ මහා පරිමාණ ජාවාරමක් අල්ලා ගැනීමට දොම්පේ පොලිසිය පෙරේදා (28) සමත් වී ඇත.

පෙරේදා පස්වරුවේ උඩමාපිටිගම ප්‍රදේශයේ පාළු නිවෙසක් පිටුපස තෙල් ගබඩා සංකීර්ණයෙන් ඩීසල් ප්‍රවාහනය කරන ලද බවුසර් රථයක තිබූ ඩීසල්වලට භූමිතෙල් මිශ්‍ර කරමින් සිටින විට වැටලූ අවස්ථාවේ මේ මහා පරිමාණ ජාවාරම හෙළි කර ගැනීමට පොලිසියට හැකිවී තිබේ.
මෙහි තිබී ඩීසල් ලීටර් 33,000ක් තිබූ බවුසර් රථයක්, භූමිතෙල් ලීටර් 3,600ක් තිබූ බවුසර් රථයක්, භූමිතෙල්වල පාට සුදු පාට කිරීම සඳහා භාවිත කළ ටන්සිල් නමැති රසායනික ද්‍රව්‍ය කිලෝ 25 මලු හතරක්, කරාම, බට, ඉන්ධන දමන ගැලුම් 45 බැරල් 03ක් හා ලීටර් 20 ප්ලාස්ටික් බූලි විස්සක් ද අත්අඩංගුවට ගන්නා ලදී. තව ද මීට සම්බන්ධ බවුසර් රථයක රියැදුරෙක්, රිය සහායකයෙක් හා බවුසර් රථ හිමිකරුවෙක් ද පොලිස් භාරයට ගෙන තිබේ. මේ බවුසර් රථ හිමිකරු එම ජාවාරමේ ජාවාරම්කරු වන අතර, මොහු වැලිවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර එක් බවුසර් රථයක රියැදුරෙක් හා මේ ජාවාරමට බදුගත් නිවෙස සහිත ඉඩමේ හිමිකරු මේ වනවිට ප්‍රදේශය හැර ගොස් ඇත. තෙල් ගබඩා සංකීර්ණයෙන් ඩීසල් රැගෙන එන බවුසර් රථ හා ඉන්ධන පිරවුම්හල්වලින් මිල දී ගන්නා භූමිතෙල් රැගෙන එන බවුසර් රථ ද මේ නිවෙස පිටුපසට ගෙනැවිත් මෙසේ මිශ්‍ර කරන බව කියයි. මේ නිවෙස සහිත ඉඩම මාසයකට රුපියල් පනස්දහසක බදු කුලියකට ලබාගෙන මේ ජාවාරම කලක් තිස්සේ පවත්වාගෙන ‍ ගොස් තිබෙන බවට පොලිස් පරීක්ෂණවල දී හෙළිවිය.

මේ ජාවාරමට උප‍යෝගී කර ගන්නා ලද බවුසර් රථ ද කුලී පදනම මත ලබාගෙන ඇති අතර, තෙල් ගබඩා සංකීර්ණයෙන් බවුසර් රථවලට තබන මුද්‍රාව මොවුන් සූක්ෂමව ගලවා නැවත සවි කරන බවට ද අනාවරණය වී ඇත. මේ බවුසර් රථවලින් ලබාගත් ඩීසල් හා භූමිතෙල් පරීක්ෂා කර බැලීම සඳහා ඛනිජතෙල් සංස්ථාවට ඉදිරිපත් කර ඇත. මෙදින අත්අඩංගුවට ගන්නා ලද බවුසර් රථ දෙකෙන් තෙල් ගබඩා සංකීර්ණයට ඇතුළුවීම සඳහා අවසර පත් ලබා ඇත්තේ එක් බවුසර් රථයකට පමණි.

පොලිස් භාරයට ගන්නා ලද මේ තිදෙනා පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන අතර ඔවුන් ඉමදූව, කුරුණෑගල හා වැලිවිට යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති