දියවැඩියාව කොලොස්ටරෝල් මඩින දිවුල්


දියවැඩියාව කොලොස්ටරෝල් මඩින දිවුල්

අප පුරුදුව සිටින්නේ පලතුරු වර්ග කිහිපයක් පමණක් අනුභව කිරීමටය. ඇපල්, දොඩම්, අන්නාසි, මිදි, පැ‍පොල් යනාදිය අතර දිවුල් ඉතාමත් වටිනා පලතුරකි.

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ මෙන්ම අතරමැදි කලාපයේද හොඳින් වැවෙයි. ළඳු කැලෑ ආශ්‍රිතව ඉතාමත් සශ්‍රිකව වැවෙනු දක්නට හැකිය. දිවුල් අලීන්ගේ ප්‍රියතම ආහාරයක් ද වේ.

දිවුල් ශාකයම ඖෂධීය ගුණයෙන් ඉතාමත් ඉහළ අගයක් ගනී. දේශීය චිකිත්සාවේදී මෙන්ම එදිනෙදා අත් බෙහෙත් සඳහා ද වෛද්‍යවරුන් මෙන්ම ගැමියෝද එහි ප්‍රයෝජන ගත්හ. වියළි කලාපීය ශාකයක් වන ඉන් ජනතාවගේ ‍පෝෂණ අවශ්‍යතා බොහොමයක් දිවුල් මගින් සපුරා ගත හැකිවේ.

උද්භිද විද්‍යාත්මකව Limonia Acidissima ලෙස හැඳින්වෙන දිවුල්වල නවීන විද්‍යාත්මක සොයා බලන කළ ද අති විශාල ‍පෝෂණීය අගයක් ඇති බව පෙනී යයි. දේශීය වෙදකමේදී දිවුල් ගසේ පංචාංගයම ඔසු පිණිස යොදා ගැනේ. ජනතාව අතර දිවුල් කොළ කැඳ ප්‍රචලිතව ඇත්තේ ශරීරගත විෂ ඉවත් කිරීම සඳහායි. මීයන් වැනි සතුන් සපා කෑ විට දිවුල් කොළ කැඳ පිස දීම විෂ වෛද්‍ය, ගම් වැසියන් අතර ප්‍රචලිතව තිබිණි. සාමාන්‍ය ජීවිතයේදී කැඳ සාදන විට දිවුල් කොළ කැඳ ලබා දිය යුතු නැත.

වර්තමානයේ බොහෝ දෙනා නිරන්තරයෙන් බෝවන රෝගවලට ගොදුරු වෙති. එයට හේතු වන්නේ අපේ ශරීරය ප්‍රතිශක්තිකරණ ඌනතාවයකින් පෙළීමයි. නමුත් දීර්ඝකාලීනව අපගේ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගත යුත්තේ අප ගන්නා ආහාර මගිනි. ඒ වෙනුවෙන් අප ගන්නා ස්වභාවික පලතුරු විශේෂ කාර්යභාරයක් ඉටු කරයි. එහිදී ද දිවුල්වලට ලැබෙන්නේ සුවිශේෂ ස්ථානයකි. ඉන්ද්‍රීය පද්ධතිය ආරක්ෂා කරගනිමින් රෝගවලින් මිදීමට දිවුල් ඉතාමත් ප්‍රයෝජනවත් බව කිව යුතුය. ලාංකීකයන් අතර දිවුල් ප්‍රචලිතව ඇත්තේ පානයක් ලෙසය. ඉදුණු දිවුල් ජලයේ දියකර හෝ ජලය හා ‍පොල්කිරි ස්වල්පයක් ඒකකර හෝ ගැනීමෙන් පානයක් ලෙස සකසා ගැනීමට අපගේ ගෘහණියෝ පුරුදුව සිටිති. දිවුල්වලින් ජෑම්, චට්නි ආදිය සකසා ගැනීමට හැකිය.

මධුමේහය හෙවත් දියවැඩියාව වැනි රෝගීන්ට දිවුල් ඉතාමත් යහපත්ය. විශේෂයෙන් ඉදුණු දිවුල් ගෙඩිවල ඇති බිජ මේ සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වේ. දිවුල් කිරි සෑදීමේදී සාමාන්‍යයෙන් දිවුල් ඇට ඉවත් කෙරේ. එසේ ඉවත් කර ගැනෙන දිවුල් ඇට හොඳින් වියළා කුඩුකර තබා ගෙන පරණ මී පැණියෙන් අනා නෙල්ලි ගෙඩියක ප්‍රමාණයක් ගැනීමෙන් රුධිරයට එකතු වන සීනි ප්‍රමාණය පාලනය කර ගත හැකිය. තවද ළපටි දිවුල් ගෙඩියේ මද වියළා කුඩුකර එම චූර්ණයෙන් තේ හැඳි 1/2ක්ම උණු වතුර කෝප්ප 1කට දමා නිවෙන්න හැර පානය කිරීමද මධුමේහ රෝගීන්ට යහපත් ය.

වර්තමානයේ කුඩා දරුවෝ බොහෝ දෙනෙක් ‍පෝෂණ ඌණතාවලින් පෙළෙති. ඒ නිසාම ඔවුන් නිරන්තරයෙන් බෝවන රෝගවලට ගොදුරු වෙති. නමුත් ඔවුන්ගේ ශරීර වර්ධනයට අවශ්‍ය බොහෝ ‍පෝෂණ සංඝටකයන් දිවුල්වල අන්තර්ගතව තිබේ. විශේෂයෙන්ම දරුවන්ගේ රක්ත හීනතාව දුරුකර ගැනීම සඳහා දිවුල් ඉතාමත් ප්‍රයෝජනවත් වේ. තවද අස්ථි වර්ධනයට ද දායක වෙයි. දරුවාගේ ප්‍රතිශක්තිය ද වර්ධනය කරයි. දිවුල් පානය කිරීමෙන් හෝ ආහාරයට ගැනීමෙන් දරුවාගේ ආහාර රුචිය ඇති කරයි. ආහාර ජීර්ණ පද්ධතියේ යම් අක්‍රමවත් භාවයක් ඇත්නම් එය ක්‍රමවත් කර ගැනීමට දිවුල් උපකාරී වේ. විශේෂයෙන් ඇදුම හෝ නොනවතින කැස්ස ඇති අයට ඉතාමත් හොඳ පලතුරක් වේ. මින් ස්වසන අපහසුතා ඇති අයට ඉදුණු දිවුල් ජලයේ දියකර ‍පොල්කිරි නොමැතිව සීනි සමග දීයකර දීමෙන් එම අපහසුතාවන්ගෙන් දරුවා මුදවා ගත හැකිවේ.

දිවුල් යනු බාල තරුණ මහලු සැමට එකසේ ගුණ දෙන ආහාරයකි. බොහෝ මාතාවන්ට ගර්භණී සමයේදී මතුවන එක් ගැටලුවකි රක්ත හිනතාව. ගර්භණී මව රක්තහීනතාවයෙන් මුදවා ගැනීමට හොඳම පලතුර වනුයේ දිවුල්ය. එහෙත් ගර්භණී මව්වරුන්ට දිවුල් දීමේදී පරෙස්සම් විය යුතු කාරණයක්ද ඇත. එනම් අධික මාත්‍රාවකින් දිවුල් නොදිය යුතු වීමයි. විශේෂයෙන් ගර්භණී සමයේ මුල් අවස්ථාවේදී දිවුල් එතරම් සුබ පලතුරක් නම් නොවේ. ඒ සමයේදී දිවුල් ගැට මද නොමේරූ දිවුල් ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුවේ. නමුත් බොහෝ ගැබිනි මව්වරුන්ට හට ගන්නා උදෑසන වමනයේදී දිවුල් බිම අල්ප වශයෙන් ලබාදීමෙන් වමනය මහහරවා ගත හැකිවේ. තවද දරුවන් ලැබූ මව්වරුන්ට ද දිවුල් ඉතාමත් යහපත් වේ. දරුවන් ලැබිමෙන් පසු ගර්භාෂයේ ඇතිවන විවිධ සංකූලතා මගහරවා ගැනීමට දිවුල් පානය ඉතාමත් ප්‍රයෝජනවත්ය. 

දිවුල් කිරි දෙන මව්වරුන්ගේ කිරි එරීමේ හැකියාව වර්ධනය කරයි. එනම් ක්ෂීර ග්‍රන්ථි හොඳින් ක්‍රියාත්මක කරවීමේ හැකියාව දිවුල්වලට ඇත. පිළිකා වැලඳීමේ අවදානම අඩුවේ. තවද මාස් සුද්ධිය (ආර්ථවය) අක්‍රමවත් ගැහැනු දරුවන් සහ කාන්තාවන් සඳහා දිවුල් පලතුරක් ලෙස ලබා දීමෙන් එම අක්‍රමවත් භාවයෙන් මිදීමට ඔවුන්ට හැකිවේ. තවද වැඩිහිටි කාන්තාවන්ගේ ආර්තව චක්‍රය අවසන් වූ පසු ශරීරයේ ඇති වන විවිධ සංකූලතා මගහැරීම සඳහා දිවුල් ඉතාමත් ප්‍රයෝජනවයත්ය. එනම් කාන්තා හෝර්මෝන සමතුලිත කිරීමේ හැකියාවක් දිවුල්වලට තිබේ.

කාම ශක්තිය වර්ධනය කරගැනීමට කැමති බොහෝ පිරිමි විවිධ පෙති කරල් හෝ පානයන් ගැනීමට පුරුදුවී සිටිති. නමුත් දිවුල් කිරි වලින් පිරිමි අයගේ කාම ශක්තිය වර්ධනය වෙයි.

අපට වැලදෙන්නා වූ බොහෝ රෝගවලට මුල වනුයේ ජීර්ණ ක්‍රියාවලියේ ඇති අක්‍රමවත් භාවයයි. මේ වෙනස නිසා මලබද්ධය අම්ල පිත්තය, අර්සස් වැනි රෝග ඇතිවෙයි. මේ රෝග පීඩාවලින් මිදීමට දිවුල් පානයෙන් හැකියාව ලැබෙයි. තවද අතීසාරය, පාචනය, අජීර්ණය වැනි රෝග අවස්ථාවන්හිදී දිවුල් මද සීනි සමග දීමෙන් එම තත්ත්වය මගහරවා ගත හැකිවේ. අප ගන්නාවූ ආහාරවල ඇති යම් යම් විෂ කොටස් ඉවත් කිරීමේ හැකියාවක් ද දිවුල් සතුය.

එසේම මත්පැන් පානය හේතුවෙන් අක්මාව දුර්වල වූ රෝගීන්ට එම තත්ත්වයෙන් මිදීම සඳහා දිවුල් ඉතාමත් හිතකරය. දිවුල් ආහාරයට ගැනීමෙන් මූත්‍රා කිරීමේ අපහසුතා මගහැර වකුගඩු ආරක්ෂා කර ගත හැකිවේ. තවද අම්ල පිත්ත හෙවත් ගැස්ට්‍රයිටිස් රෝගීන්ට දිවුල් ‍පොල්කිරි සමග පානය කිරීම යහපත්ය. එහෙත් අත් මාත්‍රාවෙන් ගැනීම එතරම් යහපත් නොවේ. දිවුල් ආහාරයට ගැනීමෙන් හදවත ද ආරක්ෂා කරගත හැකිවේ. මන්ද යත් රුධිර පීඩනය සම මට්ටමක පවත්වා ගැනීමට දිවුල් උපකාරී වන බැවිනි. තවද විවිධ ආහාර ගැනීමෙන් ඇතිවන ආසාත්මිකතා මගහැරීමේ හැකියාවක් දිවුල්වලට ඇත. බොහෝ අයට ඇති රෝග තත්ත්වයක් වන ආහාර ගැනීමෙන් පසු වැසිකිළි යෑමට ඇති අවශ්‍යතාව හෝ දිනකට කිහිප වරක් වැසිකිළි යාමට සිදුවීම වැනි රෝග තත්ත්වය වෙනස් කිරීමට දිවුල්වලට හැකියාව ඇත.

වියළි කලාපීය වැසියන්ගේ දාහය නිවීම සඳහා දිවුල් ඉතාමත් හොඳ පළතුරකි. අධික අව් රශ්මිය නිසා ඇතිවන හිසරදය සමනය සඳහා දිවුල් ගසේ මු‍ලේ ‍පොත්ත ඇල්දියෙන් අඹරා නළ‍ලේ ආ‍ලේප කෙරෙයි. තවද සන්ධි ස්ථානවල වේදනාවට දිවුල් කොළ ඇල්දියෙන් අඹරා ආ‍ලේප කිරීමෙන් එම වේදනාවන් සමනය කර ගැනීමට හැකියාව ඇත.

මෙහි ඇති ‍පෝෂණීය අගය හේතුවෙන් ඇස් පෙනීම දියුණු වෙයි. හදවත් රෝග ඇතිවීමේ අවදානම අඩු වෙයි. ශරීරයේ ඇතිවන වේදනාවන් සමනයට ඉතාමත් යෝග්‍ය වේ. තවද හමේ ඇතිවන විවිධ රෝග සමනය සඳහා ඉතාමත් යෝග්‍ය වේ. විශේෂයෙන් සමේ ඇතිවන අළුහම් මර්දනය සඳහා පලතුරක් ලෙසින්ද අඹරා අ‍ලේප කිරීමෙන්ද ප්‍රතිඵල ලබාගත හැකිය. අධික ලෙස හිස උෂ්ණාධික අයට දිවුල් කොළ පත්‍ර යුෂ හිස ගල්වා තබා ස්නානය කිරීමෙන් හිසට සිසිලසක් ලබා ගත හැකිය. හිස තෙල් ගෑමේ දී දිවුල් පත්‍ර යුෂ මිශ්‍ර නානු ගෑම සිදු කරනු ලබන්නේ මෙ නිසාය.
දිවුල් පත්‍ර යුෂ හිසෙහි ගැල්වීමෙන් උකුණන් මර්දනය කර ගැනීමට ද හැකිය.

දිවුල් පූජා වට්ටියට පමණක් සීමා කළ යුතු පලතුරක් නොවේ. ඉතාම ‍පෝෂණීය අගයෙන් යුතු දිවුල් අඩුම වශයෙන් සතියකට දෙවරක් වත් ආහාරයට ගැනීමෙන් ශරීරයට ඇවැසි බොහෝ ‍පෝෂ්‍ය සංඝටකයන් ලබා ගත හැකිවේ.
නමුත් අම්ල පිත්ත රෝගීන්, කිරි දෙන මව්වරුන්, ගැබිනි මව්වරුන් මෙන්ම තෛරොයිඩ් ග්‍රන්ථියේ දෝෂ ඇති අය වෛද්‍ය උපදෙස් මත ආහාරයට ගන්නවානම් වඩාත් යෝග්‍ය වේ. දියවැඩියා රෝගීන්ට මෙන්ම අම්ලපිත්ත රෝගීන් අධික ලෙස එනම් අතියෝගයෙන් දිවුල් ගැනීම එතරම් යහපත් නොවේ. ඒ කෙසේ වෙතත් දැන ගෙන ආහාරයට ගැනීමෙන් ශරීරයේ නිරෝගිතාවය රැක ගැනීමට දිවුල් උපකාරී වේ.
දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ කථිකාචාර්ය / මා‍ලේවන ශ්‍රී ඥානිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය