සරසවි සිසුනට ලැප්ටොප් දෙන හැටි

 ලැප්ටොප්
විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතියට 2017 වසර සඳහා අය- වැයෙන් රුපියල් මිලියන 350ක මුදලක් මෙවර වෙන් කර තිබේ.

මේ ව්‍යපෘතිය යටතේ සිසුන් බැංකු හරහා ලබා ගන්නා ලැප්ටොප් පරිගණකවල වාරිකය පමණක් සිසුන්ගෙන් අයකර ගනු ලබන අතර, පොලී මුදල රජයෙන් ගෙවනු ලැබේ. ඒ අනුව අය- වැයෙන් මේ රුපියල් මිලියන 350ක මුදල වෙන් කර ඇත්තේ 2017 වසර සඳහා එම පොලිය ගෙවීමටය. 

සරසවි සිසුන් සඳහා පොලී රහිත වසර තුනකින් ආපසු ගෙවීමේ පදනම මත ක්‍රියාත්මක කරන මේ ලැප්ටොප් ලබා දීමේ ව්‍යාපෘතිය හරහා මේ වන විට සිසුන් 13988 දෙනකු ලැප්ටොප් පරිගණක ලබා ගෙන තිබෙන බවත් තවත් සිසුන් 7623 දෙනකුගේ අයදුම්පත් මේ වන විට බැංකුවල සැලකිල්ලට භාජනය වෙමින් පවතින බවත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන හා මුදල්) පී. ජී. ජයසිංහ මහතා පැවැසීය.

මේ වන විට සිසුන් ලබා ගෙන ඇති ලැප්ටොප් පරිගණකවලට අදාළ පොලී මුදල් වශයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් මිලියන 37ක් අදාළ බැංකුවලට ගෙවා තිබෙන බවත් ජයසිංහ මහතා කීවේය.

මේ ව්‍යාපෘතිය ලංකා බැංකුව හා මහජන බැංකුව හරහා ක්‍රියාත්මක කරන අතර, සිසුවකුට උපරිම වශයෙන් රුපියල් 75000ක ණය මුදලක් ලබා දෙයි. මේ ව්‍යාපෘතිය සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කෙරෙන අතර ඕනෑම සිසුවකට අයදුම් කිරීමට අවස්ථාව තිබෙන බවත් අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කළේය.