සංතෝෂය සොයා ගන්න ක්‍රම

සන්තෝෂයෙන් ජීවිතය ගත කිරීම අප කාගේත් හීනයකි. ඒ වුණත් සන්තෝෂයෙන් මොහොතක් ගතකරන්නට ලැබෙන්නේ අප කීයෙන් කී දෙනාටද?. හැම මොහොතකම මොකක් හෝ කරදරයක් අප කරා ළඟා වේ.

එවිට සතුට අපේ ජීවිතවලින් පලා යයි. ඇත්තෙන්ම සතුටින් ඉන්න ක්‍රමයක් ඇත්තේම නැද්දැයි කියා හිතෙන්නේ ඒ වගේ වෙලාවටය. ප්‍රශ්න, කම්කටොලු, දුක් කරදර සහ බාධා අප කාටත් පොදු බව ඔබ කෙතෙකුත් දන්නවා ඇත. ඒ අතර තුර වුවත් සන්තෝෂය සොයා ගැනීම අසීරු නැත. ඒ සඳහා අත්හදා බලන්නට හැකි කරණු කිහිපයක් අපි මෙහි දක්වමු. මේ කියන සියලුම කාරණා එකවර කර බලන්නට බැරි වුණත් එකක් දෙකක්වත් තමන්ට හැකි පමණින් කර අත්හදා බලන්න.

1.නිතරම සිනාසෙන්න

දවස ආරම්භයේදීම හොඳ “මූඩ්” එකක් ලබාගන්නට සමහරු උදේට මිනිත්තු පහක් අඛන්ඩව සිනහසෙති. සිනාසීමෙන් මුහුණේ මාංශ පේශී ක්‍රියාත්මක වන්නට පටන් ගැනේ. එමඟින් යහපත් හැඟීම් ඇති වේ. සන්තෝෂයෙන් සිටින්නට අවශ්‍ය පරිදි මොළයේ ක්‍රියාකාරීත්වය හැඩ ගැසෙන්නටත් සිනහව වැදගත් වේ. සිනහව නිසා සන්තෝෂයත්, සන්තෝෂය නිසා සිනහවත් ඇතිවන බව අමතක නොකරන්න.

2.ජීවිතය මහා බැරෑරුම් දෙයක් හැටියට නොගන්න

ජීවිතය බැරෑරුම් දෙයක් බව සැබැවි. ඒ වුණත් එය මහා විශාල බැරෑරුම් දෙයක් හැටියට සලකා කටයුතු කරන්නට පටන් ගතහොත් , ඔබෙන් සතුට පලා යයි. ඒ වගේම ඔබේ ඵලදායිතාවත් අඩු වන බව මතක තබාගන්න. ඔබට අතපසු වූ දේ, ඔබ අසාර්ථක වුණු අවස්ථා ගැන, ඔබෙන් සිදුවුණු වැරැදි යන මේ සියල්ල දෙස මැදිහත් සිතකින් බලන්න. ඒවා ඇසුරෙන් උගත හැකි දේ ගෙන, ඉතිරි සියල්ල අමතක කර දමා, සැහැල්ලුවෙන් ජීවිතයට මුහුණ දෙන්න. ජීවිතය විනෝදයට බරව ගෙවන්න උත්සාහ කරන්න.

3.ධනාත්මකව සිතන්න

ඍණ සිතුවිලි හැමවිටම ඔබ තුළ ඇති ශක්තිය නසන බව ඔබ අත්දැකීමෙන්ම අවබෝධ කරගත යුතුව ඇත. එනිසා කිසිවක් සම්බන්ධයෙන් හිතට නැඟෙන ඍණ සිතුවිලි උපන් තැනම දමා, ඔබ නැගී සිටිය යුතු ය.

4.සමාව දීමේ ගුණය ප්‍රගුණ කරන්න.

සමාව දීමේ ගුණය ඔබ ප්‍රගුණ කර ඇත්නම්, ඔබ කිසිවකුට වෛර කරන්නට යන්නේ නැත. කිසිවකු දෙස ද්වේශයෙන් බලන්නේද නැත. ඔබට කිසිවකුට සැබෑවටම ආදරය කිරීමට අවශ්‍ය නම් ඔබ කළ යුතු වන්නේ, සමාව දීමේ ගුණය ඔබ තුළ ප්‍රගුණ කිරීම ය.

5.හැඟීම් සමඟ ගනුදෙනු කරන්න ඉගෙන ගන්න

හැඟීම් සමඟ නිවැරැදි ගනුදෙනුව බොහෝ දෙනකුට වැරැදී යයි. එනිසා ජීවිත පවා අහිමිව යන අවස්ථා අද සමාජය තුළ සුලභ ය. තමන් තුළ ඇතිවන අයහපත් හැඟීම් වගේම, හොඳ හැඟීම්ද නිවැරැදිව කළමනාකාරණය කර ගත යුතු ය. එසේ නොවුණහොත්, ඔබේ සතුට එක් සැණෙකින් ඔබ කෙරෙන් පළා යයි.

6.ලිහිලනය

මානසික වශයෙනුත්, ශාරීරික වශයෙනුත් නිරෝගී ජීවිතයක් ගත කරන්නට මානසික ලිහිලනය ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම මානසික ආතතිය වැනි තත්ත්ව ඇතිවීම අවම කර ගන්නට ලිහිලනය අවශ්‍ය ය. මානසික ආතතිය, විශාදය වැනි තත්ත්ව මතුවුවහොත්, පුද්ගලයා ශාරීරික වශයෙනුත් රෝගී වන බව අමතක නොකරන්න.

7.ඔබ කැමැතිම දේ කරන්න

අකමැති කිසිවක් කරන්නට යෑමෙන් වළකින්න. කැමැතිම දේ කරන්නට යාම නිසා ඔබට සහනයක්, සැනසීමක් ඇති වේ. එය කිසිවිටෙකත් මනසට වධයක් වන්නේ නැත. එනිසා සතුට ඔබ අසල රැඳේ.

8.මිතුරන් ඇසුරේදී ප්‍රවේශම් වන්න

නිරෝගීමත් ජීවිතයකට මනුෂ්‍ය සම්බන්ධතා අවශ්‍යය බව සැබෑවකි. කුමන අය සමඟ කවර පරිමාණයෙන් සම්බන්ධතා ගොඩනඟා ගතයුතුද යන්න තීරණය කළ යුත්තේ ඔබ ය. කොහොම වුණත් අකාරුණික, වංක පුද්ගලයන් ආශ්‍රය ඉතාමත් භයානක බව ඔබ වටහා ගත යුතු ය. එසේ නොවුණහොත් , මිතුරන් නිසා ම ඔබ මහත් කරදරවලට මුහුණදෙනු නිසැක ය. එය ඔබේ සතුටට බාධාවකි.