මාර්ග නීති ගැන විනයක් ඇති කිරීමට දඩ මුදල වැඩිකළා

රවි කරුණානායක
මාර්ග නීති පිළිබඳ විනයක් හා ගරුත්වයක් ජනතාව තුළ ඇති කිරීමේ රජයේ ක්‍රියාමාර්ගයක් ලෙස අය-වැය මගින් වාහන නීති කඩකරන්නන්ට එරෙහිව රු. 2500යේ අවම දඩ මුදලක් පැනවූ බවත් එම වැඩපිළිවෙළෙහි වෙනසක් කිරීමට තීරණය කර නැති බවත් මුදල් ඇමැති රවි කරුණානායක මහතා ප්‍රකාශ කෙළේය.

මාර්ග නීතිරීති නොසලකා හැරීම ඇතුළු නීති උල්ලංඝනය කිරීම් රටේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්වී තිබේ. අය-වැය සකස් කිරීමේදී ලැබූ යෝජනාවලින් සියයට 90කින් පමණ ජනතාව ඉල්ලා සිටියේ සියලු ක්ෂේත්‍රයන්හි විනය ඇති කිරීම හා නීතිය පිළිපැදීමට ජනතාව යොමු කළයුතු බවයි.

මාර්ග නීති උල්ලංඝනය කිරීමට එරෙහිව අය-වැය මගින් පනවන ලද රු. 2500 අවම දඩය ඉවත් කරන මෙන් පුද්ගලික බස් සංගමයක් විසින් කරන ඉල්ලීම් පිළිබඳව අදහස් ප්‍රකාශ කළ මුදල් ඇමැතිවරයා, මෙය පනවන ලද්දේ දහස් ගණන් මෝටර් රථකරුවන්ගේ හා පදිකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා යැයි ද කීය.

පොලිස් වාර්තාවට අනුව මෙම වසරේදී මේවනතෙක් රිය අනතුරුවලින් 3000ට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙමගින් ලංකාවේ පාරවල් ලොව අවදානම් මාර්ග බවට පත්ව තිබේ. මෙය අප වෙනස් කළ යුතුයි. තවද මෙය යුද්ධය හේතුවෙන් වසරකට මැරුණු සංඛ්‍යාව අභිබවා යෑමකි.

අය-වැය වෙනුවෙන් ලැබුණු යෝජනා පිළිබඳ ජනතාව සමඟ සාකච්ඡා කළ අවස්ථාවේදී මාර්ගයේ සිදුවන අනතුරු අවම කිරීම සඳහා සහ විනයක් ගෙනඒමට වහා පියවර ගත යුතු යැයි ඉල්ලා සිටින ලදී.