කොට්ටාවේ දැරියකට ලිංගික අතවර

කොට්ටාවේ දැරියකට ලිංගික අතවර
කොට්ටාව පොලිස් බල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක පිහිනුම් පුහුණුව සඳහා සහභාගි වූ සත් හැවිරිදි (7) බාල වයස්කාර දැරියකට පිහිනුම් පුහුණුව ලබාදෙන මුවාවෙන් පිහිනුම් උපදේශකයකු දැරියට ලිංගික අපයෝජනයක් කළ බව කියන සිද්ධියට අදාළ නඩුව කොළඹ අංක 9 ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.

තවද එම සිද්ධියට මුහුණ දුන් දැරියගෙන් වීඩියෝ සාක්ෂි ලබා ගන්නා ලෙසටද ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයාට අධිකරණයෙන් නියෝග කෙරුණි.

එම සිද්ධියට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමට හා සිද්ධිය සම්බන්ධයෙන් එම දැරියගෙන් වීඩියෝ සාක්ෂි ලබා ගැනීම සඳහා ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයාට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලමින් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව එසේ නියෝග කෙරිණි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාර පිහිනුම් උපදේශකවරයා මේ දැරිය ඇතුළු පුහුණුවට පැමිණි එම වයසේ තවත් දැරියන් තිදෙනකුට ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට එම දැරියගේ සාක්ෂිවලින් අනාවරණය වන බවත් දැරිය සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ මවුපියන්ට හා පාසලේ පන්තිභාර ගුරුතුමියට කළ දැනුම්දීමකින් මෙම සිද්ධිය අනාවරණය කර ගැනීමට හැකිවූ බවත්ය.

සැකකාර උපදේශකවරයා හඳුනා ගැනීම සඳහා ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් පිරිසක් එම විදුහල වෙත ගොස් ඇති බවද තවදුරටත් අනාවරණය විය.