මුතුහෙට්ටිගමට එරෙහි නඩුවට උපදෙස් නෑ

මුතුහෙට්ටිගමට එරෙහි නඩුවට  උපදෙස් නෑ
පසුගිය ජනාධිපතිවරණයේදී බද්දේගම වඳුරඹ ප්‍රදේශයේ මැතිවරණ රැස්වීමක් පැවැත්වීමට සකස් කරමින් තිබූ වේදිකාවක් ගිනි තැබුවේ යැයි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට එරෙහි නඩුවට චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී නැතැයි වඳුරඹ පොලිසිය බද්දේගම ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාට ඊයේ (21දා) දැනුම් දුන්නේය.

ඒ අනුව කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නඩුව 2017 ජනවාරි 09 වැනි දින දක්වා කල් තැබීය.

මහෙස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේ මුතුහෙට්ටිගම මහතාට එරෙහි නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදීය.

වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු සියලු විත්තිකරුවෝ ඊයේ (21දා) අධිකරණයේ පෙනී සිටියහ. විත්තිකාර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පාර්ශ්වය වෙනුවෙන් මාපලගම විමලරතන, වීරසිරි ඩයස් ඇතුළු නීතිඥවරු සය දෙනෙක් අධිකරණයේ පෙනී සිටියහ.