මහින්ද රාජපක්ෂගේ 71 වැනි ජන්ම දිනය අද

මහින්ද රාජපක්ෂගේ 71 වැනි ජන්ම දිනය අද
හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතාගේ 71 වැනි ජන්ම දිනය අද (18දා)ට යෙදී තිබේ.මේ නිමිත්තෙන් අදත් හෙටත් ආගමික වැඩසටහන් කීපයක් පැවැත්වීමට සංවිධානය කර ඇති අතර එය ඇරැඹෙන්නේ අද අලුයම 5.30ට නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වෙන කිරිඅම්මාවරුන් වෙනුවෙන් පැවැත්වෙන දානයකිනි.

අද සවස 7.30ට කැලණිය රජමහා විහාරයේදී මල්, පහන්, ගිලන්පස පූජාවක් පැවැත්වෙයි. එය සංවිධානය කරනු ලබන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසිනි.

මේ අතර හෙට (19දා) අනුරාධපුරයේදී ආගමික වැඩසටහන් කීපයක්ම පැවැත්වීමට සංවිධානය කර ඇතැයි මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් උදිත් බණ්ඩාර මහතා 'මව්බිම'ට පැවැසීය.

හෙට සවස අනුරාධපුර ජයන්ති විහාරයේ සංඝාවාසය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වන හිටපු ජනාධිපතිවරයා සවස 5.30ට ශ්‍රී මහ බෝ සමිඳුන් ඉදිරියේ පැවැත්වෙන ආගමික වතාවත්වලටත් සවස 6.30ට රුවන්වැලි සෑරදුන් වෙනුවෙන් පැවැත්වෙන කප්රුක් පූජාවකටත් සහභාගි වෙයි.