ලංකාවට ලකුණු 225ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩාම
සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර හරාරේහිදී ඊයේ (02 දා) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 225ක දැවැන්ත ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩාම සමත්විය.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවති 16 වැනි ටෙස්ට් තරගය මෙය වූ අතර, ඉන් ශ්‍රී ලංකාව ලැබූ 11 වැනි ජයග්‍රහණය මෙය වේ.

අවසන් වරට 1999 වසරේදී ශ්‍රී ලංකාව හමුවේ හරාරේහිදී පැවැති ටෙස්ට් තරගයක් ජයපරාජයෙන් තොරව අවසන් කරගැනීමෙන් පසු දෙරට අතර ටෙස්ට් තරග 05ක් පවත්වා ඇති අතර, එම තරග සියල්ල ඉනිමක් සහිතව පරාජය වීමට සිම්බාබ්වේට සිදුවිය.

අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම, සිම්බාබ්වේ හා ටෙස්ට් තරගයකදී හමුවී ඇත්තේ 2004 වසරේදී වන අතර, බුලවායෝහිදි පැවැති එම තරගයෙන්ද ශ්‍රී ලංකාව ඉනිමක හා ලකුණු 254ක ජයක් ලැබීය.

හරාරේහි පැවැත්වෙන මෙම තරගය පසුගිය සෙනසුරාදා (29දා) ආරම්භ වූ අතර, කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 537ක් රැස් කළේය.

ඊට පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 373ක් රැස්කළේය.

ඉන් අනතුරුව යළි දෙවැනි ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේට ලකුණු 412ක ඉලක්කයක් ලබදෙමින් සිය ඉනිම ලකුණු 247/6කට අත්හිටුවීය.

මෙම සංචාරයට ශ්‍රී ලංකා නිත්‍ය නායක ලෙස කටයුතු කරන ඇන්ජලෝ මැතිව්ස් හා උපනායක දිනේෂ් චන්දිමාල් සහභාගි නොවූ අතර, ඒ හේතුවෙන් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රංගන හේරත්ට හිමිවිය.

හේරත් නායකයෙකු ලෙස ශ්‍රී ලංකාව මෙහෙයවූ පළමු තරගය මෙය වේ.