සිඟා කෑ මවට රු. 20 ක්‌ දඩ

beggars in sri lanka
සිය බාල වයස්‌කාර දියණියන් දෙදෙනා හා 6 හැවිරිදි පුත්‍රයා සමඟ කළුතර බෝ සමිඳු අබියස පසළොස්‌වක පොහෝ දින (14 දා) මහජනතාවට හා වාහනවලට අවහිර වන අයුරින් සිඟා කෑමේ චෝදනාවට වරද පිළිගත් 38 හැවිරිදි තිදරු මවකට කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උදේෂ් රණතුංග මහතා රුපියල් 20 ක (විස්‌සක) දඩයක්‌ නියම කළේය.

මෙම කාන්තාවගේ අවුරුදු 9 ක්‌ හා 5 ක්‌ වයසැති දියණියන් දෙදෙනාද, 6 හැවිරිදි පිරිමි දරුවා ද භාර ගැනීමට ඇය හෝ සැමියා ඉදිරිපත් නොවූ හෙයින් එම දරු තිදෙනා පරිවාස භාරයේ ළමා නිවාසවල රඳවා තබන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

මෙම කාන්තාවගේ 9 හැවිරිදි දියණිය බණ්‌ඩාරගම පාසලක ඉගෙනුම ලබන බවත්, ආර්ථික ප්‍රශ්න නිසා නිවාඩු දිනවලදී මව සමඟ සිඟාකෑමට යන බව පොලිසියට ප්‍රකාශ කළ බවත්, කළුතර දකුණ වැඩබලන පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සමින්ද අමරසේකර මහතා අධිකරණයට ඉදිරිපත් කළ 'ඒ' වාර්තාවේ දැක්‌විණ.

කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි උපුල් නිල්මිනි ආරියරත්න මහතාගේ උපදෙස්‌ මත කළුතර දකුණ වැඩබලන පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සමින්ද අමරසේකර, කාන්තා හා ළමා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂිකා සංජීවනී පතිරණ. පොලිස්‌ කාන්තා කොස්‌තාපල්වරියන් වන (9872), අයේෂා, (9860) ප්‍රබෝධා, (7151) සඳමාලිනි කොස්‌තාපල් (34051) විඡේසිංහ යන මහත්ම මහත්මීන් විසින් පරීක්‍ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි.

බිරිඳ හා දරු තිදෙනා පොලිසිය අත්අඩංගුවට ගත් බව ආරංචි වීමත් සමඟම පොලිසියට පැමිණි දරුවන්ගේ පියා පසුව ඔවුන් මඟහැර ගිය බව ද පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.