තොල්පෙති අතරින් ඇල්ලුවේ මෙහෙමයි

“අපි තවත් ෆිල්ම් එකක් ෂූට් කරන්න ප්ලෑන් කළා..... ඔයාට අද එන්න පුළුවන්ද.....?”

“ඒ ෂූට් එක කොහේද තියෙන්නේ....?”

“එදා ෂූට් කරපු වේයන්ගොඩ ගෙදරමයි.....”

“හා... හරි හරි.... මම එන්නම්..... මට වෙහිකල් එකක් එවන්නකෝ......”

තමා ප්‍රධාන චරිත රඟපාන චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා වූ සුමිත් ගෙන් ලද දුරකථන ඇමතුමට ඇයගෙන් ලැබුණේ සාර්ථක ප්‍රතිචාරයකි. ඇමතුම ලබාදුන් අධ්‍යක්ෂකවරයා ඒ මොහොතේම ඇය ගෙන්වා ගැනීම සඳහා වෑන් රථයක් යැවීමට ද කටයුතු කළේය.

වේයන්ගොඩ කූරිකොටුව ප්‍රදේශයේ සිට ඇය පදිංචි වත්තල පිහිටි නිවෙස වෙත යන්නට වාහනයට ටික වේලාවක් ගත විය. පැයක් පමණ ගතවන්නට ආසන්න වෙද්දී ඇය රැගත් වෑන් රථය කූරිකොටුව නිවෙස වෙත ළඟා විය.

ඇය පිළිගැනීම සඳහා චිත්‍රපට අධ්‍යක්ෂකවරයා මිදුලට වී බලා සිටියේය. ඊට අමතරව මීට සතියකට පමණ පෙර රඟපෑ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ද, සහායකයා ද පසෙක සිටිනු ප්‍රධාන නිළිය දකින්නට ඇත. ඇය..... ඉතා සතුටින් සිනා සිසී වාහනයෙන් බැස අධ්‍යක්ෂකවරයා අසලට පැමිණියාය.

ඇයට.... ඔහු හා වචනයකට දෙකකට වඩා කතා කිරීමට ඉඩකඩ ලැබුණේ නැත. නිවෙස ඇතුළේ සිට පැමිණි පොලිස් කණ්ඩායම දුටු ඇය තුෂ්ණිම්භූත වූවාය.

“තමා බ්ලූ ෆිල්ම්වල රඟපෑවා නේද....? අපි මේ තුන්දෙනාවම අත්අඩංගුවට අරගෙන ඉන්නේ.... දැන් තමාවත් අපි අත්අඩංගුවට ගන්නවා......”

පොලිසිය ඇයට තතු පහදා දුන්නේය.

“ආ.... ඕකද....? ඕවා සුළු දේවල්නේ....”

නිල් චිත්‍රපටයක රඟපා පොලිස් අත්අඩංගුවට පත්වූ ඇයගේ මුවින් පිටවූයේ එවැනි වදනකි.

ඇය ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු වේයන්ගොඩ පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අසභ්‍ය(නිල්) චිත්‍රපටයක රඟපෑම, එය අධ්‍යක්ෂණය කිරීම හා චිත්‍රපටය බෙදා හැරීම යන චෝදනා යටතේය.

මෙම චිත්‍රපටය රූගත කර තිබුණේ වේයන්ගොඩ, කූරිකොටුව ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවෙසක උඩුමහලේය.

එම නිවෙස හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට අයත් එකකි. සිය නිවෙස තුළ නිල් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කොට එය අන්තර්ජාලයට මුදාහැර ඇති බවට වේයන්ගොඩ පොලිසියට පැමිණෙන එම හිටපු මන්ත්‍රීවරයා පැමිණිල්ලක් කරමින් පවසා සිටියේය. පරීක්ෂණ ඇරඹෙන්නේ ඉන් අනතුරුවය.

පරීක්ෂණවලදී හෙළිවූ තොරතුරුවලට අනුව වේයන්ගොඩ කූරිකොටුව ප්‍රදේශයේ පදිංචි චතුරංග මෙම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කලක සිට දන්නා හඳුනන තරුණයෙකි.

පසුගිය දිනෙක ඔහු මන්ත්‍රීවරයා හමුවී ඉල්ලීමක් කළේය. ඒ.... තමා දන්නා හඳුනන අධ්‍යක්ෂකවරයකුට ටෙලි නාට්‍යයක් රූගත කිරීම සඳහා නිවෙසක උඩුමහලක් අවශ්‍යව ඇති බවත් මන්ත්‍රීවරයාගේ නිවෙසේ උඩුමහල ඒ සඳහා ලබාදෙන ලෙසටත්ය.

ඔහුගේ කීමට එකඟතාව පලකළ මන්ත්‍රීවරයා ඇතුළු පවුලේ අය උඩු මහලෙන් පහත මාලයට ගොස් උඩු මහල ටෙලිනාට්‍ය රූගත කිරීම සඳහා ලබා දුන්නේය.

ටෙලි නාට්‍යයක් හා චිත්‍රපටයක් රූගත කරන්නේ නම් එය නැරඹීම සඳහා එක්රොක් වන පිරිස් එමටය. එහෙත්.... මන්ත්‍රීවරයා පවසන පරිදි ඉහළ මාලයේ සිදුකෙරෙන රූගත කිරීම් නැරඹීම සඳහා ඔහුවත් ගොස් තිබුණේ නැත.

ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සඳහා ප්‍රධාන නිලිය, ප්‍රධාන නළුවා, සහය නළුවා සහ අධ්‍යක්ෂකවරයා පැමිණ ඇති අතර කැමරා ශිල්පියාද අධ්‍යක්ෂකවරයාමය.

ටෙලි නාට්‍ය රූගත කරගත් පිරිස යන්නට ගියේය. දින කිහිපයක් ගෙවී යද්දී මන්ත්‍රීවරයා හමුවට එන අසල්වැසි තරුණයකු යම් තොරතුරක් ලබා දුන්නේය. ඒ..... යූ ටියුබ් වෙබ් අඩවියේ තිබෙන නිල් වීඩියෝවක් පිළිබඳය.

“යූ ටියුබ් එකේ බ්ලූ එකක් තියෙනවා. ඒ ගේ මේ ගේ වගේමයි. අයියලාගේ ගෙදර තමයි ඒක ෂූට් කරලා තියෙන්නේ.... චුට්ටක් බලන්නකෝ.....”

ලද තොරතුරින් කලබලයට පත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා යූ ටියුබ් වෙබ් අඩවියට ගොස් තරුණයා කී චිත්‍රපටයේ නම යොදා බැලීමේදී නිල් චිත්‍රපටයක් දිග හැරිණි.

තරුණයා කී කතාව සත්‍යය. එම චිත්‍රපටය ඇරැඹෙන්නේ පිටතින් නිවෙස පෙන්වීමෙන් අනතුරුවය. නිවෙස ඇතුළේ දර්ශන නැරැඹූ ඔහුට තරු පෙනෙන්නට ඇත. ඒවා.... අසභ්‍ය ලිංගික දර්ශනය.

එම චිත්‍රපටය සී. ඩී. තැටියකට කොපි කරවාගත් ඔහු එයද රැගෙන වේයන්ගොඩ පොලිසියට යන්නේ වෙන කළ හැකි දෙයක් නොවූ බැවිනි.

මෙම පැමිණිල්ල ලැබීමෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කරන පොලිසිය මුලින්ම අත්අඩංගුවට ගන්නේ මෙම ගමේ පදිංචි තරුණයාය. ඔහු ලවා චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට දුරකථන ඇමතුමක් දෙන පොලිසිය තව චිත්‍රපටයකට ඉල්ලුම තිබෙන බව පවසමින් අධ්‍යක්ෂකවරයාත්, ප්‍රධාන නළුවාත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවෙසට කැඳවා ගැනීමට කටයුතු කළේය.

ඒ අනුව එම දෙදෙනා 29 වැනිදා උදේ අදාළ නිවෙසට එන්නේ තවත් නිල් චිත්‍රපටයක් රූගත කිරීමට සූදානමිනි.

ඒ වන විට චතුරංග සිටියේ පොලිස් අත්අඩංගුවේය. එම නිවෙසට එන අධ්‍යක්ෂක සුමිත් කුමාරත් ප්‍රධාන නළු උදයකුමාරත් පොලිසිය සිය භාරයට ගන්නා අතර ප්‍රධාන නිළිය වන රත්නකුමාර් ෂර්මිලා කැඳවන්නේ තවත් චිත්‍රපටයක් රූගත කරන බව අධ්‍යක්ෂකවරයා ලවා දැනුම්දීමෙන් අනතුරුවය.

ෂර්මිලා යනු තිස්එක් හැවිරිදි විවාහක එක්දරු මවකි. වත්තල ප්‍රදේශයේ පදිංචි ඇය වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිණියකි. වත්තල ඇයගේ රූපලාවන්‍යාගාරය පිහිටා ඇත.

ඇය... මෝස්තර නිරූපිකාවක ලෙසද පෙනී සිටී. සිංගප්පූරුව, ඩුබායි වැනි විදෙස් රටවල් සමඟ ළඟ සම්බන්ධතා තිබෙන ඇය ඒ රටවලද නිරූපණයේ යෙදී ඇත. එලෙසම ඇය එම රටවලදී රූගත කළ නිරුවත් නිල් චිත්‍රපටවල රඟපා ඇත. ඇය..... නිරුවත් ඡායාරූපවලට මෙන්ම රාගික ඉරියව් නිරූපණයට ද පෙනී සිටින අයෙකි.

"වහලා තියෙන මගේ ඇඟට වඩා ඇරලා තියෙන මගේ ඇඟට මම කැමතියි....." ඒ ඇයගේ ජීවිතයේ ආදර්ශපාඨයයි.

ඇය සිය සිරුර පුරාම පච්ච කොටාගෙන ඇත. ඒවා වැඩිපුරම තිබෙන්නේ සිරුරේ ලිංගික අවයව හා ඒ ආසන්නයේය.

තුනී රෙද්දෙන් ඇඟට සිරවන ලෙස මැසූ ලෙගින් කලිසමත්, එවැනිම ටී-බ්ලවුසයත් ඇයගේ ප්‍රියතම ඇඳුම් කට්ටලයයි.

ඇයගේ මේ ක්‍රියා කලාපය නොරිස්සූ බැවින් සැමියා මීට වසර කිහිපයකට පෙර ඇය හැර යන්නට ගොසිනි. වර්ථමානය වන විට ඇයගේ දියණිය සිවුවැනි වියේ පසුවේ. වත්තල පිහිටි නිවෙසේ ෂර්මිලා ජීවත් වන්නේ දියණිය ද සමඟය.

ඇයට මුදල් හදල් අතින් හිඟයක් නැත. අතපය දිගහැර වියදම් කිරීමට අවශ්‍ය මුදල් ඇය විසින් උපයාගනු ලබන්නේ නිරුවත විකිණීමෙනි. ඇය පවසන පරිදි ඇයගේ නිරුවතට සමාජයේ හොඳ ඉල්ලුමක් ඇත.

ප්‍රධාන නළු උදයකුමාර තිස්පස් හැවිරිදිය. ඔහුද විවාහකයෙකි. ඔහු මෙරට සිටින යම් මට්ටමක ජනපි‍්‍රයත්වයක් ලබා ඇති නළුවෙකි. පුංචි තිරයේ දකින්නට ලැබෙන ඔහු වෙළෙඳ දැන්වීම්වලද නිතරම දක්නට ලැබෙන රසික හදවත් දිනාගත් කඩවසම් නළුවෙකි.

ඔහු.... මෙවැනි චිත්‍රපටවල රඟපාන්නේ බිරිය ඇතුළු පවුලේ අයට හොර රහසේය. එහෙත්.... මෙවැනි චිත්‍ර පටයක් අන්තර්ජාලයට මුදා හැරිය විට එය සකල ලෝ වාසීන්ම දකින බව ඔහු දැන නොසිටින්නට ඇත.

වේයන්ගොඩ පදිංචි චතුරංග මීට පෙර සිටම මේ කණ්ඩායමට සහය ලබාදෙන අයෙකි. එමෙන්ම මෙම චිත්‍රපටයේ සහය නළුවා වන්නේ ද ඔහුය.

මෙම නිල් චිත්‍රපටය ඇතුළේ විදෙස් රටක නිෂ්පාදිත ඉතාම අසභ්‍ය නිල් චිත්‍රපටයක දර්ශන ද ඇතුළත්ය.

එබැවින්.... මෙම චිත්‍රපටයට ඉතා ඉහළ ඉල්ලුමක්ද තිබී ඇත. මෙවැනි නිල් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කොට එක් සී. ඩී. පටයක් නිපදවයි. එය.... පිටකොටුවේ සිටින සී. ඩී. නිෂ්පාදනය කරන අයකුට ඉහළ මිලකට විකුණයි. අනතුරුව ඔහු.... එම චිත්‍රපටයේ සී. ඩී. තැටි විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය කොට හොර රහසේ අලෙවි කරයි.

චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සතුව තිබී පොලිසියට එම චිත්‍රපටයේ මුල් සී. ඩී. තැටිය හමුවී ඇත. ඊට අමතරව මන්ත්‍රීවරයා විසින් ද එක් සී. ඩී. තැටියක් පොලිසියට බාරදී ඇත.

අත්අඩංගුවට පත් සිවුදෙනා අධිකරණයට කැඳවාගෙන යද්දී විද්‍යුත් නාලිකාවලින් මෙන්ම මුද්‍රිත මාධ්‍යවලින් ද පැමිණ සිටියහ. ඇය ප්‍රධාන නිළිය මාධ්‍යවලට සිය මුහුණ පෙන්වන්නට ලැජ්ජා වූ සෙයකි. ඇය..... ෂොපිං උරයකින් මුහුණ වසාගෙන යනු රූපවාහිනී මාධ්‍යවල, ප්‍රවෘත්ති විකාශවලින් දැකගන්නට හැකි විය.

ඇයට ලැජ්ජාව රූපවාහිනී නාලිකාවල මුහුණ පෙනෙනවාටය. එහෙත්.... ඇයගේ පූර්ණ නිරුවත් සිරුරත්, ඇය.... පුරුෂයකු සමඟ ලිංගික ක්‍රියාවලියේ යෙදෙන අයුරුත් මුළු ලොවම දැන් දැක අවසානය.

ගම්පහ මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ මේ සිවුදෙනා රක්ෂිත බන්ධනාගාරගත කැරිණි. 1983 අංක 22 දරණ අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ පොලිසිය මොවුන්ට නඩු පැවරීය.

එක් අයකුට චෝදනා දෙක බැඟින් ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළේය. පසුගිය සිකුරාදා (7) මෙම නඩුව කැඳවීය. එදින නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්විය.

විත්තිකරුවන් තිදෙනා හා විත්තිකාරිය රිමාන්ඩ් බාරයේ සිට නැවත අධිකරණය වෙත කැඳවූ අවස්ථාවේ විත්තියේ නීතිඥවරයා කරුණු දක්වමින් සිවුදෙනාම චෝදනාවලට වරද පිළිගන්නා බවත් පේ‍්‍රක්ෂකයින්ගේ රස වින්දනය උදෙසා කෙටි චිත්‍රපටය නිෂ්පාදනය කළ බවත් මේ තත්ත්වය සළකා බලා ලිහිල් දඬුවමක් නියම කරන ලෙසද ඉල්ලා සිටියේය. මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය අමතමින් මෙසේ කියා සිටියේය.

“කර තිබෙන්නේ පහත් වැඩක්... පේ‍්‍රක්ෂකයින්ගේ රස වින්දනයක් කිසිසේත්ම සිදුකොට නැහැ. කලා රසයක් නෙමෙයි කර තිබෙන්නේ. කර ඇති එකම දෙය ළමා පරපුර විනාශ කිරීමයි. ළමා පරපුර ආරක්ෂා කිරීම අධිකරණයේ වගකීම වෙනවා. සුදු අධිරාජ්‍යවාදී පාලන සමයේ මෙවැනි වරදවලට පනවා ඇති නීතිය අවස්ථා කිහිපයකදී සංශෝධනය කර තිබුණත් කාලයට ගැළපෙන අයුරින් සංශෝධන සිදුවී නැහැ. මේ පිළිබඳ කාගේත් අවධානය යොමු විය යුතු වෙනවා. මේ නිසාම පවතින නීතියේ ප්‍රතිපාදන අනුව උපරිම දඬුවම් නියම කරනවා. මින් ඉදිරියට මෙවැනි චෝදනා යටතේ මේ අධිකරණය ඉදිරියට පැමිණියහොත්, අත්හිටුවීමකින් තොරව සිර දඬුවම් නියම කරනවා යැයි මහෙස්ත්‍රාත්වරයා සිවුදෙනාටම තරයේ අවවාද කරමින් කීවේය. අසභ්‍ය දර්ශන ඇතුළත් ඩී. වී. ඩී. තැටි විනාශ කිරීමටද නියම කෙරිණි.

මෙම චෝදනාවලට ලබාදිය හැකි දඬුවම් සඳහන් වන්නේ 1927 වර්ෂයේ සම්මත වූ පනතකිනි.

ඒ අනුව එක් අයකුට එක් චෝදනාවකට රුපියල් දෙදහස් පන්සීය බැඟින් දඩමුදල් නියම කැරිණි. ඒ අනුව එක් අයකුට ගෙවිය යුතු දඩමුදල වන්නේ රුපියල් පන්දහසකි.

ඊට අමතරව එක් වරදකට මාස හයක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කොට වසර පහකදී ගෙවී යන ලෙසට අත්හිටුවීමට එනම් වසර පහ බැඟින් අත්හිටවූ සිර දඬුවම් නියම කැරිණි.

ඒ කාලය ඇතුළතදී මෙරට කොහේ හෝ අධිකරණයකින් නඩු පැවරුණහොත් මෙම දඬුවම ක්‍රියාත්මක වනු ඇත.

මෙම නිල් චිත්‍රපටය හා එහි රඟපෑ කණ්ඩායමක් ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව එම චිත්‍රපටයට නොමිලයේම ප්‍රසිද්ධියක් ලැබී ඇති අයුරු පෙනී යයි. ඊට හේතුව වන්නේ ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශවල සී. ඩී. තැටි විකුණන ස්ථානවලට එන තරුණයන් මෙන්ම වැඩිහිටියන් ද මෙම සී. ඩී. පටය ඉල්ලන බවට තොරතුරු හෙළිවීමයි.

කෙසේ වෙතත් මෙම නිල් චිත්‍ර පටයේ සී.ඩී. තැටි අලෙවි කරන්නන් පිළිබඳව පොලිසිය අවධානයෙන් පසුවෙයි.

ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල, සහකාර පොලිස් අධිකාරී චන්දන හේරත් යන නිලධාරීන්ගේ උපදෙස් මත වේයන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති චන්දන කුමාර, උප පොලිස් පරීක්ෂක සුනිල්, සැරයන් (19089) පද්මසිරි, කොස්තාපල් (48941) සමන්, කාන්තා කොස්තාපල් (5169) මල්කාන්ති, (5168) ප්‍රදීපා පරීක්ෂණ සඳහා එක්වූහ.

ගම්පහ - සිටුගේ ට ස්තුතිය.

තක්ෂිලා ජයසේකර