විග්නේශ්වරන් ලන්ඩනයේදී කොටි කොඩියට පයින් ගසයි

උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා ලන්ඩන් නුවරදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ රැස්වීමකදී එල්.ටී.ටී.ඊ. කොඩිය එසවීමට කළ ඇරැයුම ප්‍රතික්‍ෂේප කළේය.

විග්නේශ්වරන් මහතා මේ දිනවල එංගලන්තයට ගොස් සිටින්නේ එහි රාජකීය බරෝකිංස්ටන් නගරය සහ යාපනය යන නගර දෙක අතර සබඳතා ඇති කරගැනීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අස්සන් කිරීමටය.

එංගලන්තයේදී විග්නේශ්වරන් මහතා මහත් හරසරින් පිළිගනිමින් ඔහු වෙනුවෙන් රැස්වීම් ගණනාවක් පවත්වා තිබේ.
මෙහි ප්‍රධානතම රැස්වීම සංවිධානය කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කණ්ඩායමකි. රේනර් වීදියේ සංවිධානය කළ මේ රැස්වීමට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කොඩිය මහ ඇමැතිවරයා ලවා එසවීමට සැලැසුම් කර තිබිණි.

මෙය දැනගත් මහ ඇමැතිවරයා රේනර් වීදියේ රැස්වීම සංවිධායකයන්ට පවසා ඇත්තේ ඔහු එම කොඩිය එසවීමට කොහෙත්ම එකඟ නොවන බවයි. එම රැස්වීම ඇමැතීමටද මහ ඇමැතිවරයා අකැමැති බවද සංවිධායකයන්ට දැනුම් දී තිබේ.
මහ ඇමැතිවරයාගේ මේ පිළිවෙතින් පසු රැස්වීම සංවිධානය කළ පිරිස් ඔවුන්ගේ සැලැසුම අත්හළ බව ලන්ඩන් නුවරින් වාර්තා වේ.
මේ අතර මහ ඇමැති විග්නේශ්වරන් ලන්ඩන්හි දෙමළ වාණිජ මණ්ඩලයේ සාමාජිකයන් සමඟ සාකච්ඡා පවත්වා යාපනයට ආයෝජන ගෙන්වා ගැනීම සඳහා ඉමහත් වෙහෙසක් දැරූ බව ලන්ඩන් නුවරින් වාර්තා වේ.
ලන්ඩනයේ සිටින දෙමළ ව්‍යාපාරිකයන් 100කට වැඩි පිරිසක් මේ සාකච්ඡාවට සහභාගි වී තිබේ.