ඒකාබද්ධ විපක්ෂයේ රැලිය හෙට රත්නපුරේදී

'අරගලයට පණ පොවන නව ජනතා බලවේගය' ගොඩනැඟීමේ මංගල ජන රැලිය හෙට (8දා) සවස 3ට රත්නපුර නගරයේදී පැවැත්වේ. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ රැස්වීමේදී ඒකාබද්ධ විපක්ෂයේ අනාගත දේශපාලන ව්‍යාපාරය ගැන මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට අපේක්ෂිතය. 

ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ සියලු දේශපාලන පක්ෂ නායකයන් හා මන්ත්‍රිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ ජනරැලියේ දී මඩකළපුව හා වතුකරයේ දෙමළ ජනතාව සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් විශේෂ කතා දෙකක්ද පැවැත්වෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය. පැවිදි හඬ, වියත් සංවිධාන, යුතුකම් සංවාදය වැනි දේශපාලන නොවන සංවිධාන කීපයක නියෝජිතයන්ද මේ රැස්වීමට සහභාගි වන බවද මන්ත්‍රිවරිය කීවාය.

ආණ්ඩු වෙනසක් අපේක්ෂා කරන්න රටපුරා සිටින ජනතාවගෙන් ලක්ෂයකට අධික පිරිසක් මේ ජනරැලියට සහභාගි වෙතැයි අපේක්ෂා කෙරේ.