පරීක්ෂණ නිසා ඒඩ්ස් ආසාධිතයින් වාර්තාවීම ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස 9ක කාලය තුළ එච්.අයි.වී. ආසාධිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත රෝග හා එච්.අයි.වී.ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කරයි.

එය පසුගිය වසරට සාපේක්ෂව 10% ක පමණ වර්ධනයක් බව ඔහු පෙන්වා දෙයි.මේ වසරේ ගත වු කාලය තුළ එච්.අයි.වී. ආසාධිත වූ පුද්ගලයින් එකසිය හැත්තෑ දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් බහුතරයක් වයස අවුරුදු 25ට වැඩි පිරිමි පුද්ගලයින් බව සඳහන්ය.

මෙසේ එච්.අයි.වි. අසාධනය වු පුද්ගලයින් වාර්තා වීම ඉහළ යාමට හේතුව එච්.අයි.වී. සඳහා සිදුකරන පරික්ෂණ වැඩි කිරීම බව වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවසීය.

ජංගම සායන ක්‍රියාත්මක කිරීම සහ එච්.අයි.වී. අසාධනය විය හැකි බවට අවදානම් සමාජ කොටස් පරීක්ෂාවට ලක්කිරීම මේ වසර තුළ වැඩි වශයෙන් සිදුකර තිබේ.

විශේෂයෙන් ලිංගික වෘත්තීයේ යෙදෙන කාන්තාවන්, පිරිමි සමලිංගිකයින්, මත්ද්‍රව්‍ය එන්නත් කරගනු ලබන පුද්ගලයින් වැඩි වශයෙන් එච්.අයි.වී. පරීක්ෂාව සඳහා යොමුකළ බව වෛද්‍ය සිසිර ලියනගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.