ලන්දවත්තේ බාලයා අත්අඩංගුවට

ලන්දවත්තේ බාලයා
මිනිස් ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයකු පෙරේදා (25දා) සවස අඟුණුකොළපැලැස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 8 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි.

සැකකරු අංක 50/14 අක්කර 50 බරවකුඹුක ලිපිනයේ පදිංචි සුජිත් ලොකුලියනගේ නොහොත් ලන්දවත්තේ බාලයා (40) නමැත්තෙකි. පෙරේදා (25දා) අලුයම 4.30ට පමණ අඟුණුකොළපැලැස්ස අක්කර 50 ප්‍රදේශයේදී තංගල්ල පොලිස් කොට්ඨාසයේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු සමඟ විදේශීය රටක නිෂ්පාදිත රයිෆල් වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ තුනක්, කඩුවක් හා පිහියක් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 9 දින අඟුණුකොළපැලැස්ස මුරවැසිහේන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම හා තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ.

මේ පුද්ගලයා විසින් මීට ඉහතදී දිවයින පුරා මිනිස් ඝාතන හා මංකොල්ලකෑම් කිහිපයක්ම සිදු කර ඇතැයි සොයාගෙන ඇති අතර දකුණු පළාත් සභා අමාත්‍ය එම්.කේ. රංජිත් මහතා අපරාධ පරීක්ෂණාගාරය ඉදිරිපිටදී ඝාතනය කිරීමේ සිද්ධියටද මේ පුද්ගලයා සැකකරුවෙකි. තංගල්ල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ටී.සී.ඒ. ධනපාල මහතාගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.කේ. රංගජීව, උප පොලිස් පරීක්ෂක ගුණතුංග යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට සහාය වී ඇත.