මත්තලට ආ ගුවන් යානයේ කුරුල්ලකු හැපිලා

මත්තල ගුවන්තොටුපොළට ගොඩබාමින් තිබූ ගුවන්යානයක ඉදිරි එන්ජිමේ කුරුල්ලකු හැපීමෙන් එහි ගමන් කරමින් සිටි මගීන් බස්සවා ගමන නතර කර තිබේ.
කුරුල්ලා ගැටීමෙන් ගුවන්යානයේ එන්ජිම ක්‍රියාවිරහිත වීමත් සමඟම අනෙක් එංජිමේ ක්‍රියාකාරිත්වය තුළින් නිරුපද්‍රිතව යානය ගොඩබැස්සවීමට නියමුවා සමත්විය.
ඊයේ (06දා) උදෑසන 7.15ට මත්තල ගුවන්තොටුපොළට ගොඩබාමින් තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් සමාගමකට අයත් කටුනායක සිට ඩුබායි බලා ගමන් කරන ගුවන් යානයේ මෙම කුරුල්ලා ගැටී තිබිණි. ඒ වන විට එහි ගමන් කරමින් සිටි මගීන් 43 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 07 දෙනකු ගුවන්යානයෙන් බස්සවා ගමනද නතර කර තිබේ.

පසුව එම ගුවන් සමාගමට අයත් වෙනත් ගුවන් යානයක් පැමිණ මගීන් රැගෙන ඊයේ (06දා) දහවල් 1.45ට පමණ ඩුබායි බලා පිටත් විය. අනතුරට ලක්වූ ගුවන් යානය පරීක්‍ෂණ කටයුතු සඳහා මත්තල ගුවන්තොටුපොළේ රඳවා තිබේ.