යාපනයේ බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙකුට පහරදීමක් !

යාපනයේ බුද්ධි අංශ
යාපනයේ දී පොලිස් වෙඩි පහරින් මියගිය යාපන විශ්ව විද්‍යාලයයේ ජනමාධ්‍ය අංශයේ ශිෂ්‍යයකු වන විජයකුමාර් සුලක්ෂන්ගේ නිවස පිහිටි චුන්කාමම් හි දී රජයේ බුද්ධි සේවයේ නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමක් සිදුව ඇතැයි වාර්තාවේ.ඔවුන් දෙදෙනා වහාම රෝහල ඇතුලත් කර තිබේ.

සුලක්ෂන් සිසුවාගේ නිවස පිහිටියේ යාපනය චුන්නාකම් සිට කිලෝමීටරයක් පමණ දුරින් කන්දරෝඩෙයි ප්‍රදේශයේ ය.

සුලක්ෂන්ගේ අවසන් කටයුතු සදුදා (24) දහවල් යාපනයේදී සිදු කිරීමට නියමිතය.

මහා ජන ගඟක් :
මේ අතර, යාපනයේ දී සැකකටයුතු ලෙස මිය ගියැයි කියන විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවකුගේ අවසන් කටයුතු අද දහවල් ඉරණමඩුවේදී සිදුකෙරින.

යාපනය විශ්ව විද්‍යාලයයේ දේශපාලන විද්‍යා අංශයේ සිසුවකු වූ නඩරාසා ගජන්ගේ දේහය කිලිනොච්චියේ නිවසේ සිට සුසාන භූමිය කරා ගෙන යන අවමඟුන් පෙරහරට මහා ජන ගඟක් එක්ව සිටියේය.අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුහු රැසක් ද ඊට සහභාගී වුහ.

අවමඟුල් පෙරහරේ යන වැඩි දෙනකුගේ අත විරෝධතා පුවරු දක්නට හැකි විය.

යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් අද සහ හෙට ශෝක කාලයක් ලෙස නම් කොට ඇත.

පහක් රිමාන්ඩ් :

මෙය රිය අනතුරක් බව පොලිසිය මුලින් කී අතර පසුව අනාවරණය වූයේ එක් සිසුවකුගේ සිරුරේ වෙඩි සලකුණු ඇති බවයි.

විජයකුමාර් සුලක්ෂන් සහ නඩරාසා ගජන් දෙදෙනාගේ මරණය සිදු කිරීමේ චෝදනාවට සැකපිට 22 සෙනසුරාදා රහස් පොලිසිය විසින් අධිකරණය හමුවට පමුණුවන ලද යාපනය පොලිසියේ නිලධාරීන් පස් දෙනා මහේස්ත්‍රාත් එස් සතීස්වරන් මහතා විසින් නොවැම්බර් හතර වැනිදා දක්වා රිමාන්ඩ් ගත කොට තිබේ.

උප පොලිස් පරීක්ෂක සරත් දිසානායක ප්‍රමුඛ යාපනය පොලිසියේ සැරයන්වරයකු, කොස්‌තාපල්වරුන් දෙදෙනකු සහ පොලිස්‌ රියෑදුරකු යවා ඇත්තේ අනුරාධපුර බන්ධනාගරයටය.