කාන්තාවන්ට විශේෂයි... රහස්‌ රෝගයක්‌ නොවෙයි

නිරෝගී බව කියන්නේ මිනිසකුට මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභයයි. එය සෑම ගැහැණු පිරිමි පුද්ගලයකුගේම ප්‍රීතිමත් ජීවිතයක ප්‍රධාන රහසයි. පිරිමි පාර්ශ්වයට වැළඳෙන රෝගවලට සාපේක්‍ෂව කාන්තා පාර්ශ්වයට වැළඳෙන රෝගාබාධ විවිධය. 

මේවා අතුරින් කාන්තාවන්ට පමණක්‌ම වැළඳෙන රෝගාබාධද පවතී. මෙම රෝග පිළිබඳ සමාජය එතරම්ම ප්‍රසිද්ධියේ කතාබහ කරනවා අඩුය. එය අප රටේ සමාජ ක්‍රමයේ ප්‍රශ්නයක්‌ වුවත් එම රෝගයන් සැඟවීම යනු ඒවා උඩු දිවීමට ලබාදෙන උදව්වක්‌ බඳු තත්ත්වයකි. ශ්වේත ප්‍රදරය හෙවත් සුද යැම රෝගයද කාන්තාවන් බහුතර පිරිසකට වැළඳෙන රෝගී තත්ත්වයකි.
බොහෝ විට කාන්තාවන් මෙම රෝගී තත්ත්වය සඟවාගෙන සිටීමට උත්සාහ දරනවා විනා ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීම හෝ එම රෝගයට ඇති ප්‍රතිකාර ක්‍රම පිළිබඳ ඔවුන්ට නිවැරැදි වැටහීමක්‌ දැනීමක්‌ නොපවතී. එබැවින් මෙම රෝගී තත්ත්වය පිළිබඳ සහ ඒ සඳහා ලබාදෙන ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පිළිබඳ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක සමඟ කළ සම්මුඛ සාකච්ඡාව බොහෝ දෙනාගේ හිතසුව පිණිස මෙසේ පළ කරන්නෙමු.

ප්‍රශ්නය - වෛද්‍යතුමනි මොකක්‌ද මේ ශ්වේත ප්‍රදරය රෝගය කියන්නේ....

පිළිතුරු - මෙය කාන්තාවන්ට පමණක්‌ වැළඳෙන රෝගී තත්ත්වයක්‌. ඒවාගේම මෙය සඟවාගෙන නොසිට ප්‍රතිකාර ලබාගත යුතුම රෝගී තත්ත්වයක්‌. සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ යෝනි මාර්ගය අවට ප්‍රදේශය තෙත් ස්‌වභාවයෙන් පැවතීම සාමාන්‍ය තත්ත්වයක්‌. ගර්භාෂය නිරන්තරව කළලයක්‌ දැරීමට සූදානමින් සිටින අතර එම ක්‍රියාවලියේ දී ඩිම්බ පිටවීමද සිදු වන්නේය. මෙම කාලය තුළදී යෝනි මාර්ගය අවට ඇතිවන ස්‍රාව තත්ත්වයන් වැඩි වශයෙන් පවතින අතර සුදයැම වැනි රෝගී අවස්‌ථාවක මෙම තත්ත්වය නිරන්තරයෙන්ම දැකගත හැකි වන්නේය. එවැනි වැඩි වශයෙන් ස්‍රාවයන් පිටවීමේ තත්ත්වය සුද යැම හෙවත් ශ්වේත ප්‍රදරය ලෙස හඳුන්වනු ලබනවා.

ප්‍රශ්නය - සාමාන්‍ය තත්ත්වයේ කාන්තාවක්‌ සහ මෙම රෝගය වැළඳුණු කාන්තාවක්‌ අතර ඇතිවන වෙනත් ලක්‍ෂණ මොනවාද?

පිළිතුරු - සෑම කාන්තාවකම සරු කාලයේ දී ඩිම්බ පිටකිරීම සිදුකරන අතර එවැනි අවස්‌ථාවල ඉන් පිටකරන ස්‍රාවයන් වර්ණයක්‌ හෝ ගන්ධයක්‌ නොමැතිව නිකුත් කෙරේ. නමුත් මෙය රෝගී තත්ත්වයක්‌ ලෙස වූ විට ඇතැම් විට කිරි පැහැයටද (මේවා බොහෝ විට මුදවපු කිරිවලට සමාන තත්ත්වයක්‌ ගනී) තරමක්‌ උකු ස්‍රාවයක්‌ ලෙසින්ද පිටවිය හැකියි. තවද සුදු පැහැති ........ ලෙසද යෝනි මාර්ගය අවට පැතිරී පැවතිය හැකිය. මීට අමතරව රතු පැහැයට හා ලා රතු පැහැයට, කහ මෙන්ම තද කහ පැහැයට ස්‍රාවයක්‌ ලෙසද දැකගත හැකිය. එවිට රෝගී තත්ත්වයක්‌ වැළඳී ඇති බව තීරණය කළ හැකි වන්නේය.

ප්‍රශ්නය - මෙම රෝගී තත්ත්වය වැළඳීමෙන් පසු ඇතිවන අපහසුතා පිළිබඳ කතා කළොත්....

පිළිතුරු - මෙම සුද යැමේ රෝගී තත්ත්වය ඇතිවූ කාන්තාවන් විවිධාකාර ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවේ. යෝනි මාර්ගය අවට නිතර කසන තත්ත්වයක්‌ ඇතවීම, ඉකිලි ආශ්‍රිත ප්‍රදේශ දක්‌වා එම කැසීම ව්‍යාප්ත වීම, නිතර නිතර මුත්‍රා ආසාදනවලට ගොදුරුවීම බහුලව දැකිය හැකි අපහසුතා ලෙස පෙන්වා දීමට හැකි අතර මේ නිසා බොහෝ විට කාර්යාලවලදී, පොදු මගී ප්‍රවාහන සේවාවන්වලදී සහ පිරිස්‌ අතරේ ඇසුරේදී මෙම රෝගී කාන්තාවන්ට ඉතා අපහසුතාවලට මුහුණපෑමට සිදු වන්නේය.

ප්‍රශ්නය - මෙම රෝගී තත්ත්වය ඇතිවීමට බලපාන හේතු පැහැදිලි කළොත්.

පිළිතුරු -ඇත්තටම මෙම රෝගය වැළඳෙනවාට වඩා වැළඳ ගන්නා රෝගයක්‌ බව කිව යුතුයි. ප්‍රධාන වශයෙන්ම තමාගේ සනීපාරක්‌ෂාව හොඳින් පවත්වාගෙන නොයැම, හොඳ සෞඛ්‍ය පුරුදු නොමැතිවීම, ක්‍රීමි ආසාදන (පණු රෝග), ලිංගික චර්යාවන්, වැඩිපුර සිටගෙන සිටින සහ වැඩිපුර ඉඳගෙන සිටින කාන්තාවන්ද මෙම රෝගයට ගොදුරු විය හැකිය. බර ඉසිලීම, පොදු වැසිකිළි භාවිතයේදී සහ අපිරිසිදු වැසිකිළි භාවිතා කිරීම සහ බහු පුරුෂ සේවනයත් මෙය වැළඳීමේ හේතු ලෙස දක්‌වන්න පුළුවන්. සුද යැමේ රෝගයත් සමඟ ඇතිවන කිරිපණු රෝගවලදී එම පණුවන් යෝනි මාර්ගය තුළ බිත්තර දැමීමද මේ යටතේම කතා කළ හැකි තත්ත්වයක්‌.

ඉහත හේතූන්ට අමතරව උෂ්ණාධික ආහාර ගැනීම රෝගය වැළඳීමේ ප්‍රධානතම හේතුවක්‌. විශේෂයෙන් තරුණ වයස්‌වල පසුවන කාන්තාවන් අමු අඹ, අන්නාසි, බිලිං, ඇඹරැල්ලා අච්චාරු වැනි දේවල් ආහාරයට ගැනීමත්, කෘත්‍රිම ආහාරපානවලට යොමුවීමත් නිසා එම ශරීර අධික උෂ්ණ තත්ත්වයට පත්වේ.

මෙවැනි වැරැදි ක්‍රියාකාරකම් නිසා බොහෝ කාන්තාවන් මෙම රෝගී තත්ත්වයට ගොදුරුවන අතර එමනිසා හැකිතාක්‌ නිවැරැදි ආහාර වර්ග සහ නිවැරැදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම සෑම කාන්තාවක්‌ම ක්‍රියා කළ යුතු බව පෙන්වා දීමට අවශ්‍යයි.

ප්‍රශ්නය - මෙම රෝගයත් සමඟම ඇතිවන අනෙකුත් රෝගාබාධ ගැන අදහස්‌ පළ කළොත්

පිළිතුරු - ඇත්තටම සුද යැමේ රෝගීන්ට ඒ පසුපසම එන රෝග තත්ත්වයන්ද රැසක්‌ම පවතිනවා. ඒ අතරින් ආහාර අරුචිය, මළබද්ධය හෝ විටින් විට අක්‍රමික තත්ත්වයෙන් මළ පිටවීම ප්‍රධාන ලෙසම දැකිය හැකිය. තවද ශරීරය කෘෂවීම, කැසීම්, පළු දැමීම් ආශ්‍රිත විවිධ සමේ රෝග ඇතිවීම, පීනස්‌ රෝග, අර්ශස්‌ තත්ත්වයට ගොදුරුවීම, හිස කැක්‌කුම් ඇතිවීම, ශරීරය අප්‍රාණික ස්‌වභාවය, අධික කේන්තිය අතිවීමද දැකිය හැකියි.

ප්‍රශ්නය - මෙම රෝගී තත්ත්වය සුව කර ගැනීම සඳහා ආයුර්වේද ප්‍රතිකාර මොනවාද?

පිළිතුරු - මේ සඳහා ප්‍රතිකාර ක්‍රම විවිධාකාරයි. මන්ද මෙම රෝගය වැළඳුණු කාන්තාවන්ට ඇතිවන අපහසුතා විවිධාකාරයි. ඉහතින් සඳහන් කළාක්‌ මෙන් විවිධ ආබාධ ඇතිවන නිසා රෝගීන්ව ඉතා සියුම් ලෙස නිවැරැදි පරීක්‍ෂාවකට ලක්‌ කිරීමෙන් පසු ඒ ඒ අවස්‌ථා සඳහා ලබාදෙන ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. එක්‌වරම ප්‍රතිකාර ක්‍රම පිළිබඳ මාධ්‍යයෙන් කතා කළ නොහැක්‌කේ රෝගියාගේ රෝගී තත්ත්වය පරීක්‍ෂා කිරීමෙන් පසුව ප්‍රතිකාර නියම කළ යුතු නිසයි. මෙම රෝගය හා ඒ ආශ්‍රිත හටගන්නා අනෙකුත් රෝගී තත්ත්වයන් සුව කිරීම සඳහා විශේෂිත ප්‍රතිකාර ක්‍රම ආයුර්වේදය සතුව තිබෙනවා.

බොහෝ කාන්තාවන් කාර්ය බහුලත්වය නිසා ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම සඳහා යොමුවීමට අකමැති වුවත්, ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමත් දැන් ඕනෑම කාර්ය බහුල අයෙකුට ලබාගත හැකි ලෙස නිපදවා තිබෙන අතර අපගේ ප්‍රතිකාර ක්‍රමද ඉතා පහුසවෙන් ඕනෑම රෝගියෙකුට ලබාගත හැකි ලෙස සකස්‌ කර තිබෙන නිසා බොහෝ රෝගීන් පිරිසක්‌ අප කරා පැමිණ තම රෝග නිරෝග කරගෙන තිබෙනවා.

විශේෂයෙන්ම මෙම රෝගී තත්ත්වය දිගු කලක්‌ පැවතීමෙන් ගර්භාෂය ආශ්‍රිත යම් යම් රෝගී තත්ත්වයන් වර්ධනය විය හැකි අතර ඒ අනුව බොහෝ විට දරුවන් නොලැබී යැමේ තත්ත්වයක්‌ද ඇතිවිය හැකි අතර ඒ නිසා මෙය ඉක්‌මනින්ම සුවකර ගත යුතු රෝගයක්‌ ලෙසද පැවසිය යුතුමය.