දුමින්දට පෙණහළු ආසාදනයක්

මරණ දඩුවමට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, මතකය අඩුවීම සහ පෙණහළු ආසාදන තත්ත්වයන්ගෙන් පීඩා විඳින බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.

මීට සතියකට පෙර වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත ඔහුව රෝහල්ගත කර තිබිණ. ඒ බරපතල උණ රෝගයක් හේතුවෙනි.

ප්‍රභූන් 04 ක් බන්ධනාගාර රෝහලේ :

මේ අතර, විවිධ වැරදිවලට දඩුවම් ලබා හෝ සැකපිට බන්ධනාගාරගත කෙරුණු දේශපාලන ප්‍රභූන් හතර දෙනෙකු මේ වන විට වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටින බව වාර්තා වේ.

රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජයන්ත සමරවීරද බන්ධනාගාර ගත කළ දිනයේම වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

ඔහු අධික රුධිර පීඩනය සහ හෘද රෝගී තත්ත්වයෙන් පෙළෙන බව වෛද්‍යවරුන් පවසති.

රක්ෂිත බන්ධනාගාරගත පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සහෝදරයෙකු වන සරත් වීරවංශ ද එම රෝග දෙකෙන්ම පෙළෙන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ඔහු ද මේ වන විට සිටින්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමිනි.

තෙලේ වැඩිවෙලා :

පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ සහෝදරයෙකු වන චානුක රත්වත්තේද වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඔහු අධි කොලෙස්ටරෝල් සහ විශාදය යන රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා ගෙන් කල විමසීමදී ඔහු පැවසුයේ, ඉහත නම් සඳහන් දේශපාලන ප්‍රභූන් හතර දෙනාම රෝහල්ගත කර සිටින්නේ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත බවයි.