සිංහල වැසියන්ට ඉවත් වන්නැයි තර්ජන

වවුනියාව කොක්එළිය සංහිඳියාගම රණවිරු ගම්මානයේ වැසියන්ට ගම්මානයෙන් ඉවත්වන ලෙස තර්ජනය කොට පලාගොස් සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු වන 'සින්නවන්' නමැත්තා හා තර්ජනය කිරීමට සම්බන්ධ තවත් අයකු ඊයේ (02දා) කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.

පලාගොස් සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා පිළිබඳ වවුනියාව පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් වෙත ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකදී සැකකරු හා අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 29 වැනිදා රාත්‍රියේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා හා තවත් පුද්ගලයකු සමඟ පැමිණ 'සංහිඳියාගම' රණවිරු ගම්මානයෙන් ඉවත් වන ලෙසත් දෙමළ ජනතාවගේ ඉඩම් තුළ පදිංචිව සිටින සිංහල ජනතාව පන්නා දමන බවටත් එහි පදිංචි පවුල් වෙත තර්ජනය කොට ඇත.

තර්ජනය කිරීමෙන් අනතුරුව හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා පලාගොස් සිටි අතර නොසන්සුන්තාවට පත් සංහිඳියාගම රණවිරු ගම්මානයේ ජනතාව යාපනය - නුවර ඒ නවය මාර්ගයට පැමිණ ආරක්ෂාව ඉල්ලා පැයකට ආසන්න කාලයක් මාර්ගය හරස්කරමින් විරෝධතාවක නිරත වූහ. හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා ගම්මානවලට පැමිණ තර්ජනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබී තිබූ බව වවුනියාව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා හා ඔහු සමඟ ගම්මානවලට තර්ජනය කිරීමට පැමිණි පුද්ගලයා ඊයේ (02දා) වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.